ඉන්දියාවේ පැවැති Raisina Dialogue සමුළුවේදී විදේශ අමාත්‍ය විජිත හේරත් සිදුකළ ඉංග්‍රීසි කතාව සහ ඔහුගේ භාෂා හැසිරවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන විවේචන, හුදෙක් භාෂා ප්‍රශ්නයක් නොව සැලසුම් සහගත ප්රභූවාදී දේශපාලන ප්‍රහාරයක් බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
තම යූටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ, මෙය ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම සඳහා විපක්ෂය සහ ඇතැම් කණ්ඩායම් විසින් සොයාගත් අලුත්ම ‘බයිට් එක’ බවයි.
ලක්ෂ්මන් කදිරගාමර් වැනි ඉහළ ප්‍රභූ පවුල්වලින් පැමිණි, ඉංග්‍රීසි භාෂාව මනාව උච්චාරණය කළ හැකි නායකයන් සහ විජිත හේරත් වැනි සාමාන්‍ය පවුල් පසුබිමකින් පැමිණි නායකයන් සංසන්දනය කිරීම යුක්තිසහගත නොවන බවද ආචාර්යවරයා පෙන්වා දෙයි.
ඉංග්‍රීසි භාෂාව උච්චාරණය කිරීමේ හැකියාව ලංකාවේ පවතින එක්තරා ‘ප්‍රභූ දේශපාලන පන්තියක’ (Political Class) අනන්‍යතාවක් වී ඇති බවත්, විජිත හේරත් හෝ සුනිල් හඳුන්නෙත්ති වැනි නායකයන් නියෝජනය කරන්නේ එම ප්‍රභූ පන්තියට අයත් නොවන නව දේශපාලන පන්තියක් බවත් ඔහු පවසයි.
ජාත්‍යන්තර සමුළුවක ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීමට විජිත හේරත්ට හැකියාවක් නොමැති බවත් මෙම ආණ්ඩුවේ පිරිසට එවැනි හැකියාවක් නොමැති නිසා කිච වන බව පිළිගත යුතුව ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
කෙසේවුවද පෙර සිටි ඉංග්‍රීසි උගත් ප්‍රභූ පාලකයන් රට මෙහෙයවීමට අසමත් වූ නිසා, ජනතාව විසින් මෙම නව කණ්ඩායම තෝරාගත් බවත්, ඒ නිසා ඉංග්‍රීසි උච්චාරණය දඩමීමා කරගෙන සිදුකරන මෙම ‘කිච කිරීම්’ මහජන වරමට එරෙහිව සිදුකරන්නක් බවත් මහාචාර්ය දේවසිරි පවසයි.
මෙම විවේචන පිටුපස විජිත හේරත්ගේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කිරීමේ අවංක වුවමනාවක් නැති බවත්, ඒ වෙනුවට ආණ්ඩුවට ‘කුරුමිට්ටන්’ ලෙස හංවඩු ගසා ඔවුන් අසමත් බව පෙන්වීමට උත්සාහ කරන ‘තක්කඩි වැඩක්’ ක්‍රියාත්මක වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
බැසිල් රාජපක්ෂ වැනි අතීත දේශපාලනඥයන්ට ද මෙවැනිම භාෂා ගැටලු තිබූ නමුත්, වර්තමානයේ මෙම ප්රශ්නය උලුප්පා දක්වන්නේ දේශපාලන කඳවුරු අතර පවතින ගැටුමක් නිසා බව ඔහුගේ මතයයි.
අවසාන වශයෙන් ඔහු පවසන්නේ, විජිත හේරත් මහතාට ඉංග්‍රීසි නොහැකි වීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු නැති බවත්, මෙම ප්රභූවාදී මතවාදයන්ට දේශපාලනිකව අනුකම්පා විරහිතව පහර දිය යුතු බවත්ය.