එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙත ගෞරවනීය මහාචාර්ය ධුරයක් පිරිනැමීම වෙනුවෙන් පැවති උත්සවය සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල ආරාධනයක් කළ බව එංගලන්ත තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමක් නිසා අනාවරණය වී තිබේ.
සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් විසින් 2026 ජනවාරි 30 වන දින ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලීමකට (FOI) ප්‍රතිචාර දක්වමින් එම විශ්වවිද්‍යාලයේ තොරතුරු අයිතිවාසිකම් කළමනාකාරිනී සෝෆී එසන් විසින් මෙම තහවුරු කිරීම සිදු කර ඇත.
2023 සැප්තැම්බර් 01 වන දින රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රී වික්‍රමසිංහ වෙත යොමු කරන ලද ආරාධනා පත්‍රය විශ්වවිද්‍යාලය මගින් නිල වශයෙන් නිකුත් කරන ලද්දක් බව තහවුරු කර ඇත.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙත ගෞරවනීය මහාචාර්ය ධුරයක් පිරිනැමීම වෙනුවෙන් මෙම සැමරුම් දිවා භෝජන සංග්‍රහය සංවිධානය කර තිබූ බව ලිපි ලේඛන පෙන්වා දෙයි.
රනිල් වික්‍රමසිංහ වෙත මෙම ආරාධනය සිදු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස ඔහුගේ නිල තත්ත්වය සලකා බලමිනි. මෙම නිල ආරාධනය ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය හරහා යොමු කර තිබේ.
2023 සැප්තැම්බර් 22 වන දින වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබූ උපාධි ප්‍රදානෝත්සවයට පෙර, එනම් දහවල් 12:00ට මෙම විශේෂ දිවා භෝජන සංග්‍රහය පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. විශ්වවිද්‍යාලයේ කුලපති ලෝඩ් ස්වරාජ් පෝල් වෙනුවෙන් එවකට උපකුලපති මහාචාර්ය ජෝන් රැෆර්ටි විසින් මෙම ආරාධනය සිදු කර තිබූ බව එම ලිපිවල සඳහන් වේ.
ඕෂල හේරත් මහතා විසින් සිදු කරන ලද මෙම විමසීමට අදාළ සියලු තොරතුරු තමන් සතුව පවතින බවත්, ඒවා සම්පූර්ණයෙන්ම මුදා හැරීමට තීරණය කළ බවත් විශ්වවිද්‍යාලය සිය තීරණ දැනුම්දීමේ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත