රට මුහුණ දී ඇති ගෑස් සහ ඉන්ධන අර්බුදයට හේතුව පහුගිය ආණ්ඩු ප්‍රමාණවත් ගෑස් ගබඩා පහසුකම් සහ ඉන්ධන පිරිපහදු ධාරිතාව ඉහළ නැංවීමට කටයුතු නොකිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“අපි මුහුණදෙන විශේෂ ප්‍රශ්නයක් තමා ගෑස් ප්‍රශ්නය. අපේ මුළු ගබඩා ධාරිතාව තියෙන්නේ මෙට්‍රික් ටොන් 8,000ක. අපේ දෛනික ගෑස් අවශ්‍යතාව ලිට්‍රෝ සමාගමේ 1,000-1,200ත් අතර. අපිට උපරිම ගෑස් ගබඩා කරන්න පුළුවන් වෙන්නේ සතියකට විතරයි.
ඉතින් හිඳෙනකල්ම ඉඳලා ගේන්නත් බෑනේ. දවස් දෙක ඇර දවස් දෙකක් ටොන් 8,000 ගානේ වරායට ගේනවා. මේකයි තත්ත්වය. මේක වෙනස් කරන්න ඕනේ. දැනුත් මාලදිවයිනේ නැවක් නතර කරගෙන තියෙනවා. ඒ නැවෙන් පොඩි පොඩි නැව්වලින් ටොන් 8,000 ගානේ ගේනවා. රටවල් ද මේවා. මේවා තමා හුණ්ඩු.
මේවා වෙනස් කරන්න ඕනේ. ලිට්‍රෝ ගෑස් අලුත් සිලින්ඩර් ලක්ෂයක් ඇණවුම් කරලා තියෙනවා. 12 වෙනිදා එනවා නැව. මොකද සිලින්ඩර් හිඟයක් තිබුණා. කහ පාට අයට නිල් පාට එකට මාරු වෙන්න ඕනකම තිබුණා. නමුත් ටැංකි නෑ. මෙහෙමයි හදන්නේ. ගෑස් හිඟයි ගෑස් හිඟයි කියලා කෑ ගැහුවා. අර්බුදය තේරුම් ගන්න.
විශේෂයෙන් ගත්තොත් 1969 තෙල් පිරිපහදුව හැදුවේ මෙට්‍රික් ටොන් 38000ක අවශ්‍යතාවකට. 1979 මේකේ ධාරිතාව තව 12000කින් වැඩි කළා. ඊට පස්සේ අවුරුදු 47කින් අපේ පිරිපහදුවේ ධාරිතාව වැඩි කරලා නෑ. මේවා රටවල්ද! ආණ්ඩුද තිබුණෙ කියල මම අහනවා. අපි සැලසුම් කරලාතියෙනවා ධාරිතාව ටොන් 50000කින්, සීයට සීයකින් වැඩිකරන්න. එහෙමයි ආණ්ඩු.”
අද (03) පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.