බාල ගල් අඟුරු පාඩුව ජනතාව මත පටවන්නේ නෑ.. එක බාල ගල් අඟුරු නැවකින් රටට මිලියන 50ක් ලාභයි…! – නජිත් ඉන්දික…

March 1, 2026 at 8:47 am | by emanisa.lk

ගල් අඟුරු ගනුදෙනුවලදී සිදුවූ බව කියන පාඩුව කිසිසේත්ම ජනතාව මත පටවන්නේ නැති බවත්, එම පාඩුව අදාළ සමාගම්වලින් අයකර ගැනීමට රජයට පූර්ණ හැකියාව ඇති බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික අවධාරණය කරයි.

ස්වාධීන රූපවාහිනියේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පළමු ගල් අඟුරු නැව සම්බන්ධයෙන් රුපියල් මිලියන 595ක පාඩුවක් ඇස්තමේන්තු කර තිබුණ ද, ගිවිසුම්ගත කොන්දේසි අනුව පැනවූ දඩ මුදල් ලෙස රුපියල් මිලියන 644ක් අය කරගෙන ඇති බවයි. ඒ අනුව පළමු නැවෙන් රුපියල් මිලියන 50ක අතිරික්තයක් ලැබී ඇති බව ඔහු සඳහන් කළේය.

ඉදිරි නැව් සම්බන්ධයෙන් ද ඇස්තමේන්තුගත පාඩුව සහ අයකර ගන්නා දඩ මුදල් අතර යම් වෙනසක් තිබිය හැකි වුවද, එය පියවා ගැනීමට ක්‍රමවේද පවතින බව ඔහු පැවසීය. මෙම තත්ත්වය විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීම සඳහා මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය මට්ටමේ කමිටුවක් දැනටමත් පත් කර ඇත. එමෙන්ම 13 වන නැවේ සිට ගල් අඟුරු පරීක්ෂාව සඳහා දැනට සිටින සමාගමට අමතරව වෙනත් සමාගමක් මැදිහත් කර ගැනීමට ද රජය සූදානම් වේ.

පාඩුව අයකර ගැනීම සම්බන්ධයෙන් පවතින විකල්පය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අදාළ සමාගම සතුව ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක කාර්යසාධන බැඳුම්කරයක් පවතින බවයි.

යම් හෙයකින් වෙනත් ක්‍රමවලින් පාඩුව පියවා ගැනීමට නොහැකි වුවහොත්, එම බැඳුම්කරය මගින් අදාළ මුදල අය කර ගැනීමට රජයට හැකියාව ඇති බැවින් ජනතාවට මෙහි බර පැටවීමට ඉඩ නොදෙන බව ඔහු වැඩිදුරටත් සහතික විය.

මෙම ටෙන්ඩර් පටිපාටිය නිසි ප්‍රමිතීන්ට අනුව සිදුකර ඇති බවත්, සමාගම් 10ක් මේ සඳහා ලියාපදිංචි වී තිබූ බවත් මන්ත්‍රීවරයා සිහිපත් කළේය. විපක්ෂය එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත්, ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට අනුකූලව විනිවිදභාවයකින් යුතුව මෙම කටයුතු ඉදිරියට ගෙන යන බවත් නජිත් ඉන්දික මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *