LGBTQ+ පරපුරට නව ජවයක්… ලොව ප‍්‍රථම සමලිංගික අගමැති දිවුරුම් දෙයි…!

February 25, 2026 at 1:10 pm | by emanisa.lk

නෙදර්ලන්තයේ ලාබාලතම මෙන්ම ප්‍රථම සමලිංගික අගමැතිවරයා ලෙස 38 හැවිරිදි රොබ් ජෙට්න් (Rob Jetten) දිවුරුම් දී ඇත.

ඔහු සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවේ එරට අන්ත දකුණත් පාර්ශ්වීය පක්ෂයක් වන ‘නිදහස් පක්ෂය’ (PVV) පරාජය කරමිනි. ජෙට්න් නියෝජනය කරන ‘ඩෙමොක්‍රැට්ස් 66’ (D66) පක්ෂය, මධ්‍යස්ථ-දකුණත් ‘ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී අභියාචනය’ (CDA) සහ ලිබරල් ‘ජනතා නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ (VVD) සමඟ එක්ව නව සභාග රජයක් පිහිටුවා ඇත.

කෙසේ වෙතත්, මෙම සභාගය සතු වන්නේ ආසන 150 කින් සමන්විත පාර්ලිමේන්තුවේ ආසන 66 ක් පමණක් වන බැවින්, ඉදිරි පාලන කටයුතු සඳහා විපක්ෂයේ සහය ලබා ගැනීමට ඔහුට සිදුවනු ඇත.
රොබ් ජෙට්න් යුරෝපයේ නව පරපුරේ නායකත්වයක් නියෝජනය කරන අතර, ඔහු යුරෝපා සංගමයට හිතැති, ලිබරල් සහ දේශගුණික විපර්යාස කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන නායකයෙකු ලෙස ප්‍රසිද්ධය.

2001 වසරේදී සමලිංගික විවාහ නීතිගත කළ ලොව පළමු රට නෙදර්ලන්තය වුවද, එරට රජයේ ප්‍රධානියා ලෙස ප්‍රසිද්ධ සමලිංගිකයෙකු පත්වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ඔහු 2018 වසරේදී සිය ලිංගික අනන්‍යතාව ප්‍රසිද්ධියට පත් කළේය.

ජෙට්න්ගේ සහකරු වන්නේ ආර්ජන්ටිනාවේ වෘත්තීය ක්ෂේත්‍ර හොකී ක්‍රීඩකයෙකු වන නිකොලස් කීනන් (Nicolás Keenan)ය. කීනන් ඔලිම්පික් වැනි ප්‍රධාන ජාත්‍යන්තර තරඟාවලි නියෝජනය කර ඇති අයෙකි. වසර කිහිපයක සිට සබඳතාවක් පවත්වන මෙම යුවළ මේ වන විට විවාහ ගිවිසගෙන සිටිති.

තම අනන්‍යතාව නායකත්වයේ දැකීමට කැමති LGBTQ+ තරුණ පරපුරට ජෙට්න්ගේ මෙම පත්වීම වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *