වර්තමානයේ මෙරට භික්ෂූන් වහන්සේලාට මෙන්ම සාසනයට එල්ල වන තර්ජන හමුවේ තවදුරටත් උන්වහන්සේලා ඉවසීමෙන් ඒ දෙස බලා සිටිය යුතු බවත් එසේ නොවුනොත් එය සිංහයාගේ සහ ඌරගේ සටනක් බවට පත්විය හැකි බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි පවසයි.
මේ රටේ ශාසනය ආරක්ෂා කරන්න ගිහි සමාජය ගසට පොත්තත් පොත්තට ගසත් වගේ සිටි බව පෙන්වා දුන් උන්වහන්සේ වැඩි කල් යන්නට පෙර වර්තමානයේ එල්ලවන තර්ජනවලට ගිහි සමාජය නිසැකවම පිළිතුරු ලබාදෙනු ඇති බව අවධාරණය කළහ.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන්ට උපහාර දැක්වීමේ උත්සවයක් බදුල්ල ඓතිහාසික මුතියංගණ රජමහා විහාරස්ථානයේදී පැවති අතර එහිදී මේ බව සඳහන් කළ උන්වහන්සේ වර්තමානයේ භික්ෂූන්වහන්සේලාට එල්ල වෙන තර්ජන හමුවේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට ගොස් අසූචි ගා ගැනීමට අවශ්‍ය නොවන බව පෙන්වා දෙති.
එම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි අතර එහිදී තවදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ආනන්ද හිමියෝ මෙසේද පැවසූහ.
වර්තමාන සමාජයේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධව මෙවන් උපහාර තාමත් මේ රටේ අපේ බෞද්ධ සමාජය තුළ ඉතාම ඉහළින් සිද්ධ කරනවා.
භික්ෂූන් වහන්සේලාගේ සේවාව තාමත් අගය කරනවා. අවාසනාවකට ඉතින් ඔය අතර ඇතැම් අය මේවා විවිධ විවේචනයන්ට භාජනය කරනවා.
මේ අවස්ථාවේදී අපේ මහා සංඝරත්නයෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ උකටලී නොවී උපේක්ෂාසහගත වෙන එක තමයි වඩාත්ම බුද්ධිගෝචර වෙන්නේ. ඒකයි මගේ පෞද්ගලික අදහස. මේවාට ප්‍රතිචාර දක්වන්න ගියොත් සිංහයාගේ සහ ඌරාගේ සටනක් ගැන අපි අහලා තියෙනවා. ඒ අසූචි තවරාගන්න සිංහයාට අවශ්‍ය නැති නිසා. මේ වර්තමාන තත්ත්වය සම්බන්ධව නම් භික්ෂුන් වහන්සේලා මේ වෙලාවේ තරමක් නිහඬ වෙන එක තමයි වඩාත් කාලෝචිත. නැත්නම් මේවට පිළිතුරු දෙන්න ගියොත් මේ විදියේ නොහික්මුණු පිරිසක් අද සමාජයේ ක්‍රියාත්මක වෙන ආකාරයක් එක්ක කල්පනා කරනකොට අපි තවත් ඒ තැනට නොවැටී අපේ ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කරන එක වටිනවා.
හැබැයි ඉතින් ඒවා අර සෝඩා බෝතලේ කැඩුවා වගේ කලක් ඉස්මතු වෙලා ඒවා එහෙම්මම යට යනවා. මොකද ඒ වගේ අයට වැඩි කල් පවතින්න බෑ. මේ රටේ තාමත් ශාසනයට ආදරය කරන රත්නත්‍රය පිළිබඳ ප්‍රසාදය තියෙන විශාල පිරිසක් ඒ විදිහට කටයුතු කරනවා.
මේ සමාජය ඔවුන් කවුද කවර අරමුණකින්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක මම හිතනවා යථා කාලයේදී මේ සැදැහැති පිරිස සබුද්ධිකව ඒ දෙස බලයි. ඒ ගැන තීන්දු තීරණ ගනියි. මොකද හැමදාමත් මේ රටේ ශාසනය ආරක්ෂා කරන්න මේ ගිහි සමාජය ගසට පොත්තත් පොත්තට ගසත් වගේ හිටියා.
ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා මේ සැදැහැති පිරිස වැඩි කල් යන්න ඉස්සෙල්ලා ඕවාට පිළිතුරු දෙනවට මට කිසි සැකයක් නෑ. එතෙක් අපි නිහඬව බලා ඉන්න එක කාලෝචිතයි.