නාමල්ට ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් අමතන්න ඇරයුම්…දෙමළ ඩයස්පෝරාවෙන් විරෝධය…!

February 18, 2026 at 11:52 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ලබන පෙබරවාරි 25 වනදා එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) යන ශිෂ්‍ය සංගම් ඇමතීමට ආරාධනා ලැබී තිබේ.

කෙසේ වුවද ඊට බ්‍රිතාන්‍යය පුරා වෙසෙන දෙමළ තරුණ හා ශිෂ්‍ය සංවිධාන ඒකාබද්ධව දැඩි විරෝධයක් ප්‍රකාශ කර තිබේ.

එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල 20කට අධික සංඛ්‍යාවක දෙමළ ශිෂ්‍ය සංගම් සහ බ්‍රිතාන්‍ය දෙමළ තරුණ සංවිධානය (TYO UK) එක්ව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, නාමල් රාජපක්ෂට ලබාදී ඇති මෙම අවස්ථාව වහාම අවලංගු කරන ලෙසයි.

ඔවුන් ඉදිරිපත් කර ඇති ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මෙසේය

නාමල් රාජපක්ෂ මහතාගේ දේශනය වහාම අවලංගු කිරීම.

මෙම ආරාධනය හරහා බ්‍රිතාන්‍ය දෙමළ ප්‍රජාවට සහ යුද්ධයෙන් දිවි ගලවා ගත්තවුන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් සංගම් ප්‍රසිද්ධියේ සමාව අයැදීම.
යුද අපරාධ, ජන සංහාර සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන්ට වේදිකාවක් ලබා නොදීමේ ප්‍රතිපත්තියක් (Non-platforming policy) විශ්වවිද්‍යාල විසින් අනුගමනය කිරීම.
රාජපක්ෂ පවුල මෙහෙයවූ යුද සමයේදී සිදුවූ බව කියන සිවිල් වැසියන් ඉලක්ක කරගත් ප්‍රහාර, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ පුද්ගලයන් අතුරුදහන් කිරීම් පිළිබඳ වගකීමෙන් මන්ත්‍රීවරයාට මිදිය නොහැකි බව විරෝධතාකරුවන් පවසයි. නාමල් රාජපක්ෂ යනු හුදෙක් දේශපාලන චරිතයක් පමණක් නොව, එම “ජන සංහාරක යාන්ත්‍රණයේ” උරුමක්කාරයෙකු සහ ආරක්ෂකයෙකු බවද එම නිවේදනය මගින් චෝදනා කර ඇත.

මීට අමතරව, නීති විභාග වංචා සහ රුපියල් මිලියන 70ක මුදල් අවභාවිතය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනා ද පෙන්වා දෙමින් විරෝධතාකරුවන් පවසන්නේ මෙවැනි පුද්ගලයෙකුට ගෝලීය මට්ටමේ කීර්තිමත් වේදිකාවක් ලබාදීම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට කරන බාධාවක් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *