ලංකා විදුලි බල මණ්ඩලය ලබාදුන් වාර්තාව අනුව දැනට ගොඩබෑ බාල ගල් අඟුරු නැව් පහෙන් පමණක් රුපියල් මිලියන 4000 ඉක්මවූ පාඩුවක් සිදුව ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
“පාර්ලිමේන්තුවේ අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවට ලංකා විදුලි බල මණ්ඩලය විසින් ලබාදුන් වාර්තාවට අනුව, දැනට ගොඩබාන ලද ගල් අඟුරු නැව් පහෙන් පමණක් එහි ප්‍රමිතිය බාලවීම නිසා සිදුව ඇති අලාභය රුපියල් මිලියන 1,759ක්. ජනක යන්ත්‍රවලට සිදුවන හානියත් සමග සමස්ත හානිය රුපියල් මිලියන 3,016ක්.
මෙයට “බොයිලේරුවල තන්තු හානිය” වැනි ඇතැම් හානිවල පිරිවැය ඇතුළත් කර නැහැ. අළු නිසා සිදුවන පාරිසරික හානිය නිවැරදි කිරීමට වැයවන මුදල තවමත් ඇස්තමේන්තු කර නැහැ. ඒ සියල්ල එකතු වන විට සමස්ත අලාභය රුපියල් මිලියන 4,000 ඉක්මවනු ඇතැයි අනුමාන කරන්න පුළුවන්. නමුත් අය කර ඇති දඩය රුපියල් මිලියන 1,037ක් පමණයි.
දඩ අය කිරීම නිසා අලාභය පියවා ගැනීමට අමතරව ලාභයකුත් ලැබෙන බවත්, අළුවලින් පවා මුදල් සෙවිය හැකි බවත් කියූ විදුලි බල ඇමති සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බොරු කීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතුයි. පසුගිය සති හය තුළ සිදුවූ රුපියල් කෝටි 300ක පමණ අලාභය විදුලි පාරිභෝගිකයා මත පැටවීමට ඉඩ නොදිය යුතුයි. “අපි එහෙම කරයිද” කියමින් නොසිට හානිය පියවා ගැනීම සඳහා වන විකල්ප සැලෑස්ම ආණ්ඩුව දැන්ම ඉදිරිපත් කළ යුතුයි.
ඉදිරි කාලය තුළ අලාභය තවත් වැඩි වේවි. එම හානිය අවම කර ගැනීමටත්, සිදුවන හානිය පූරණය කරන ක්‍රමය සොයා ගැනීමටත්, ඉදිරියේදී විදුලි අර්බුදයක් ඇතිවීම වැළැක්විම සඳහාත් යෝජනා කැඳවන කොමිසමක් වහාම පිහිටුවන්න. අපේ යෝජනාත් දිය හැකියි.
මෙම ක්‍රියාවලියේදී බරපතළ වංචා සිදුව තිබේදැයි සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් අපක්ෂපාතී විමර්ශනයක් කළ යුතුයි. අවම වශයෙන් මේ එකක්වත් නොකර සිටීමේ හේතුව ජනතාවට පැහැදිලි කළ යුතුයි.”
FB