පසුගිය අරගල සමයේ විවිධ උද්ඝෝෂණ හා සිදුවීම් පාදක කරගනිමින් දහස් සංඛ්‍යාත පිරිසකට එරෙහිව පවරා ඇති නඩු සම්බන්ධයෙන් රජය සතු වගකීම ඉටු කරන ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.
ජනාධිපතිවරයා අතීතයේ අරගල භූමියට පැමිණ, “කාටවත් එන්න දෙන්න එපා, ඔයාලත් එක්ක අපි ඉන්නවා” යනුවෙන් ලබාදුන් සෘජු පොරොන්දුව සිහිපත් කරමින්, මෙම නීතිමය ගැටලු විසඳීම සඳහා වූ විශේෂ යෝජනාවලියක් ඔහු මෙහිදී අනාවරණය කළේය.
ගාලු මුවදොර අරගලය කේන්ද්‍ර කරගනිමින් දැනට පවරා ඇති නඩු 32ක් සම්බන්ධයෙන් මනෝජ් නානායක්කාර සිය පළමු යෝජනාව ඉදිරිපත් කළේය.
ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය යන ස්ථානවලට බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධ නඩු හැර, සෙසු සියලු නඩු උද්ඝෝෂණවලට අදාළ නඩු බව ඔහු පෙන්වා දෙයි.
විශේෂයෙන්ම පොලිසියේ අණ නොතකා කටයුතු කිරීම සහ පොලිස් රාජකාරියට බාධා කිරීම වැනි චෝදනා යටතේ පවත්වාගෙන යනු ලබන මෙම නඩු, “පොදු මහජන කැළඹීමක්” යන පදනම මත පදනම්ව ඉවත් කරගැනීමට රජය වහාම ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව ඔහු අවධාරණය කරයි.
ප්‍රාදේශීය මට්ටමින් සිදු වූ විවිධ සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 2500කට අධික පිරිසක් නඩුවලට පටලවා ඇති බව මනෝජ් නානායක්කාර මෙහිදී හෙළිදරව් කළේය. මෙම පිරිස නඩු සඳහා ඇතුළත් කර ඇත්තේ අදාළ ප්‍රදේශවල දේශපාලනඥයන් විසින් ලබාදුන් පෞද්ගලික ලැයිස්තු අනුව බව ඔහු චෝදනා කරයි.
මෙම අසාධාරණ ක්‍රියාව හේතුවෙන් වසර හතරක පමණ කාලයක සිට අදාළ තරුණ තරුණියන්ට විදේශ ගමන් තහනම් පනවා ඇති අතර, පොලිස් සහතික ලබා ගැනීමට ඇති බාධා හේතුවෙන් ඔවුන්ගේ රැකියා සහ ජීවනෝපාය මාර්ග සම්පූර්ණයෙන් ඇහිරී තිබේ. මෙම මානුෂීය සහ දේශපාලන ගැටලුව විසඳීමට රජය සෘජුව මැදිහත් විය යුතු බව ඔහු පවසයි.
මනෝජ් නානායක්කාර පෙන්වා දෙන්නේ, සියලු නඩුවලින් ‘නීති විරෝධී රැස්වීම්’ සහ ‘පොදු චේතනාව’ යන චෝදනා ඉවත් කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවයි. එවැනි තීරණයක් මගින් හුදෙක් උද්ඝෝෂණ පැවති ස්ථානවල පාරේ රැඳී සිටි සාමාන්‍ය මහ ජනතාව නඩුවලින් නිදහස් වනු ඇත.
අනතුරුව, ගිනි තැබීම් හෝ දේපළ විනාශ කිරීම් වැනි සැබෑ අපරාධ සිදුවූ ස්ථානවල (Crime Scenes) රැඳී සිටිමින් ඒවාට සෘජුව සම්බන්ධ වූ බවට සාක්ෂි පවතින පුද්ගලයන් සම්බන්ධයෙන් පමණක් සාක්ෂි සමාලෝචනය කළ යුතු බවත්, එම නඩු කඩිනමින් විභාග කර අවසන් කළ යුතු බවත් ඔහු යෝජනා කළේය.
අරගලය පැවති සමයේ මැයි 09 වනදා ජනාධිපතිවරයා අරගල භූමියට පැමිණ, “කාටවත් එන්න දෙන්න එපා, ඔයාලත් එක්ක අපි ඉන්නවා” යනුවෙන් කළ ප්‍රකාශය රකින ලෙස මනෝජ් නානායක්කාර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙම තරුණ පිරිස පාරට බැස අරගල කළේ පවතින ක්‍රමවේදයේ වෙනසක් සඳහා බවත්, ඔවුන් සම්බන්ධයෙන් කල්මරමින් සිටීම වෙනුවට සාධනීය මැදිහත්වීමක් සිදු කිරීම රජයේ යුතුකමක් සහ වගකීමක් බවත් මනෝජ් නානායක්කාර අවධාරණය කළේය.
අදාළ දඬුවම් ලැබුණ දොළොස් දෙනා සම්බන්ධයෙන් නොමිලේ අභියාචනා කටයුත්තක් සිදු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු බවද පැවසූ ඔහු එදා අරගලකරුවන්ට අරගල කරන්නැයි කීවා සේම අද එම අරගලකරුවන් වෙනුවෙන් අදත් පෙනී සිටින බවත් තව දුරටත් පැවසුවේය.