බෝධිරාජ විහාරයේ බුදු පිළිම තැන්පත් කිරීමේ කිසි වරදක් නෑ… රජයත් මැදිහත් වී භික්ෂූන් සිරගත කිරීම බුදු සසුනට කළ මහා අපරාධයක්…! – කෝට්ටේ සංඝ සභාවේ මහානායක ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමි…

February 10, 2026 at 4:19 pm | by emanisa.lk

තිරිකුණාමලය බෝධිරාජ විහාරස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන භික්ෂූන් වහන්සේලා ඇතුළු දස දෙනෙක් සිරගත කිරීම පිළිබඳ බලවත් කනස්සල්ල ප්‍රකාශ කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම සංඝසභාවේ මහා නායක අග්ගමහා පණ්ඩිත ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමි ජනාධිපති අනුර දිසානායක මහතා වෙත අද (10) ලිපියක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකාව අතීත රජවරුන් නව වරක් බුදු සසුනට පූජා කර ඇති බවත් බෝධිරාජ විහාරයට එරෙහිව කටයුතු කරන්නේ ප්‍රදේශවාසී ජනතාව නොව දෙමළ ජාතික සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු බවත් එහිමියන් පෙන්වා දෙයි.

මෙම විහාරස්ථානය පිළිබඳ නිත්‍යානුකූල අයිතියක් භික්ෂූන් වහන්සේලාට ඇති බවත් එහි දැනටමත් බෝධීන් වහන්සේ නමක් රෝපණය කර වැඳුම් පිදුම් කරන බවත් මහානායක හිමි ප්‍රකාශ කරයි.

එහි සුනාමියට හසු වූ පැරණි ධර්මශාලා ගොඩනැගිල්ලේ පාදම මත කුඩා බුදු පිළිමයක් තැන්පත් කිරීමෙන් කිසිදු හානියක් නොවන බවත් එම පාදම මත නැවත ගොඩනැගිල්ලක් ඉදිකිරීම නව ඉදිකිරීමක් ලෙස හුවාදැක්වීම අනුවණ ක්‍රියාවක් බවත් ධම්මාලංකාර හිමි අවධාරණය කරයි.

පොලිසිය අත්තනෝමතික ලෙස සහ යම් දේශපාලන උපදෙස් මත ක්‍රිියාකිරීම නිසාත් නීතිපතිවරයාගේ උපදෙස් පවා නොතකා පොලිසිය දැඩි මතයක සිට කටයුතු කිරීමත් නිසා ගැටලුව උග්‍ර වී ඇති බවත් මෙය ආණ්ඩුවද මැදිහත් වී අභූත චෝදනා ගොනුකරමින් සම්බුුද්ධ ශාසනයට එරෙහිව සිදුකළ මහා අපරාධයක් බවත් මහානාහිමියන් සඳහන් කරති.

එහෙයින් රජය මැදිහත් වී මෙම භික්ෂූන් වහන්සේලා ඇතුළු දස දෙනා නිදහස් කරදීමට කටයුතුකරන මෙන් ඉත්තෑපාන ධම්මාලංකා නාහිමි ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *