ගල් අඟුරු ප්‍රමිතියේ වගකිමක් ඇමතිට නෑ… ඇමති ඉල්ලා අස්විය යුතු නෑ…! – ටිල්වින් සිල්වා..

February 5, 2026 at 6:45 am | by emanisa.lk

ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් පවතින ගැටලුවලදී අදාළ අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි.

ඉල්ලා අස්වීම යන්න පුද්ගලික තීරණයක් බව සඳහන් කළ ඔහු, වත්මන් රජය යටතේ ගල් අඟුරු ගෙන්වීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සිදු වන බව අවධාරණය කරයි.

මීට පෙර පැවති රජයන් සමයේ බලශක්ති අමාත්‍ය ධුර දැරූ පිරිස් සහ තවත් පිරිස් එක්ව ඩුබායි රාජ්‍යයේ ගල් අඟුරු සමාගමක් පිහිටුවා තිබූ බවත්, කිසිදු නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව එම සමාගම හරහා ගල් අඟුරු ගෙන්වා ඔවුන් ලාභ උපයාගත් බවත් ඔහු හෙළි කරයි.

වත්මන් රජය එම ක්‍රමය වෙනස් කර විධිමත් ටෙන්ඩර් පටිපාටියක් හඳුන්වා දී ඇති අතර, එහිදී අඩුම මිල ඉදිරිපත් කළ සමාගමට ටෙන්ඩරය හිමි වූ බව හෙතෙම පැවසීය.

අදාළ පැරණි දේශපාලඥයන්ට සම්බන්ධ සමාගමට මෙවර ටෙන්ඩරය අහිමි වීම නිසා ඔවුන් මෙලෙස විවිධ කතන්දර නිර්මාණය කරන බවට ඔහු චෝදනා කළේය.

ගල් අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු ගැන අදහස් දක්වමින් ටිල්වින් සිල්වා පැවසුවේ, රජය නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර ඇති බැවින් එහි වගකීම රජය හෝ අමාත්‍යවරයා සතු නොවන බවයි. “අපි පැත්තෙන් අඩුවක් කරලා නැහැ, අපි ටෙන්ඩර් පටිපාටිය රැකලා තියෙනවා” යනුවෙන් ඔහු සඳහන් කළේය.

යම් හෙයකින් ගෙන්වූ ගල් අඟුරු ප්‍රමිතියෙන් බාල නම්, අදාළ සමාගමට එරෙහිව නීත්‍යානුකූලව දඩ ගැසීම සිදු කරන බවත්, දැනටමත් එවැනි දඩ මුදල් අය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ ස්වාධීන රූපවාහිනියේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *