මොඩියුල හැදුවේ නිලධාරීන්… වැරදිවල වගකීම ඇමතිට හරි ආණ්ඩුවට හරි ගන්න බෑ…! – නි. ඇමති මහින්ද ජයසිංහ…

January 28, 2026 at 6:27 pm | by emanisa.lk

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ මොඩියුල සැකසීම අධ්‍යාපන අමාත්‍යවරයා හෝ රජය විසින් සිදුකරන්නක් නොව, අදාළ විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් විසින් සිදුකරන්නක් බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කරයි.

සිරස රූපවාහිනියේ ‘සටන’ දේශපාලන සංවාද වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, එම මොඩියුලයන්හි අන්තර්ගතයේ නිවැරදිභාවය සහ ප්‍රමිතිය තහවුරු කිරීමේ සම්පූර්ණ වගකීම එම විෂය ප්‍රවීණයන් සතු වන බවයි.

තාක්ෂණික මට්ටමින් සිදුකෙරෙන මෙම ක්‍රියාවලියේ අන්තර්ගතය සම්බන්ධයෙන් වගකීමක් අධ්‍යාපන අමාත්‍යවරියට, රජයේ අමාත්‍යවරුන්ට හෝ මන්ත්‍රීවරුන්ට භාරගත නොහැකි බව ද හෙතෙම පෙන්වා දෙයි.

විෂය නිර්දේශ සහ ඉගැන්වීම් ක්‍රමවේද සැකසීම ශාස්ත්‍රීය කාර්යයක් බවත්, දේශපාලන අධිකාරියට එහි සෘජු මැදිහත්වීමක් සිදුකළ නොහැකි බවත් ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත්, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට එරෙහිව එම සංවාදයට එක්ව සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පෙන්වා දුන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයා මීට පෙර වෘත්තීය සමිති නායකයෙකු ලෙස කටයුතු කළ සමයේදී, විභාග ප්‍රශ්න පත්‍රයක අකුරක හෝ දෝෂයක් පවතින විට පවා එවකට පැවති රජයට සහ අමාත්‍යවරුන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *