නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන් දෛනික පාඩුව රුපියල් මිලියන 75ක් බවත් ආණ්ඩුව කටයුතු කරන්නේ පාරිභෝගික ජනතාව නොව ඉන්දියානු සමාගම් රැක ගැනීමට බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික පවසයි.
“ආන්දෝලනාත්මක ගල් අඟුරු සම්බන්ධව කතා කිරීමේදී ගල් අඟුරු නැව් තුනක් සම්බන්ධව කතා කළ යුතුයි. ඒ අනුව පළවෙනි නෞකාව ජනවාරි දෙක ජනවාරි නමය අතර කළ පරීක්ෂණයේදී එක් ජනන යන්ත්‍රයකට මෙගාවොට් පහළොවක නිෂ්පාදන ධාරිතාවක් අහිමි වූ අතර එහි ජනන යන්ත්‍ර තුනෙන් අහිමි වූ මෙගාවොට් ප්‍රමාණය 45ක්. දෙවන නැවේ ගල් අඟුරු පිළිබඳ කිසිම ආරංචියක් නැහැ. කවුරුත් ඒ ගැන දන්නේද නැහැ. තුන්වන නැව සම්බන්ධයෙන් ගිය මස 20 රාත්‍රියේ සිට 22 උදේ වන තෙක් දින එකහමාරක් තුළ නියමිත ගල් අඟුරු යන්ත්‍රයට සැපයූ නමුත් ඉන් ජනනය වන මෙගාවොට් ප්‍රමාණය මෙගාවොට් සීයකින් අඩුව පැවතීම නිසා ඉන් සිදු වූ පාඩුව දිනකට රුපියල් මිලියන 75ක්.
එය එසේ සිදුවන්නේ එම මෙගාවොට් සීයක ප්‍රමාණය ජනනය කිරීම සඳහා ඩීසල් ලබා ගැනීමට සිදුවීම නිසා අමතරව රුපියල් තිහක පමණ වියදමක් දැරීමට සිදුවීම නිසා. ඇමතිවරයා කියනවා වන්දි ලැබෙනවා කියලා. අපි අහනවා ඇමතිවරයාගෙන් පාරිසරික හානියට වන්දි ගෙවන්නේ කවුද කියලා. නොරොච්චෝලේ අවට ප්‍රදේශයේ ජනතාවට මේ සඳහා වහා වන්දි ගෙවිය යුතුයි. පරිසරයට බොයිලේරුව හරහා මුදාහැරෙන ඒ දැවැන්ත කුණු කන්දාරව ඉදිරියේදී ඇතිවෙන වැසි සහිත කාලගුණය තත්ත්වයක් සමග ජනතාවට සෞඛ්‍ය ප්‍රශ්න මතු විය හැකියි. ඒ වගේම ගස කොළටද විශාල වශයෙන් හානි සිදුවිය හැකියි.
මෙතන තියෙන රහස තමයි අපි හොයන්න ඕනේ. ජනාධිපති ලේකම්වරයාට යුතුකමක් තියෙනවා ජනාධිපතිතුමාව දැනුවත් කරන්න. ඒක ඔබතුමා කෙරුවෙ නැත්තං ඔබතුමාටත් වෙන්නේ ජම්පර් අඳින්නයි. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියන්නේ නොරොච්චෝ බලාගාරයේ වාර්තාවත් ඉන්දියාවෙන් ලබා ගත් වාර්තාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර එය ජනගත කළ යුතු බව දැඩිව අවධාරණය කරනවා. ජනාධිපතිතුමාට අපි කියනවා ඇමතිවරයා වහාම අස් කරලා පරීක්ෂණ පවත්වන්න කියලා.නැත්තම් ඔහු බලපෑම් කරනවා. ඔහු මුලින්ම හැදුවේ නොරොච්චෝලේ සේවකයන්ට තර්ජනය කරලා මේ වංචාව බැහැර කරන්නයි. ඒ නිසා ආණ්ඩුවේ නිරුවත වහගන්න ජනතාව බිල්ලට තියන්න එපා. අපි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොම්ෂන් සභාවට කියනවා මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් කරලා මෙහි සමස්ත පාඩුව ගණනය කරන්න කියලා.”