කොළඹ ජාතික රෝහලේ උග්‍ර ENT වෛද්‍ය හිඟයක්… රෝගීන් සති ගණන් රස්තියාදු වී හිස් අතින් ආපසු යති…!

January 21, 2026 at 10:07 am | by emanisa.lk

කොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ සායනයේ පවතින සියයට 60ක වෛද්‍ය හිඟය නිසා රෝගීන් පරීක්ෂා කිරීම ප්‍රතිකාර ලබාදීම හා වෛද්‍ය වාර්තා ලබාදීම බරපතළ අර්බුදයකට ලක්වී ඇතැයි රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හෙළි කරයි.

මේ හේතුව මත උගුර, කන, නාසය පිළිබඳ රෝගාබාධවලින් පෙළෙන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

මෙම සායනයට අනුයුක්තව විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙක් සිට ඇති අතර, එක් විශේෂඥ වෛද්‍යවරයෙක් විශ්‍රාම යාමත් සමග මෙම අර්බුදය හටගෙන ඇත. ඒ සඳහා වැඩ බැලීමට වෛද්‍යවරයෙක් යොමුකර ඇතත් වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සියයට හැටකින්ම නතරව ඇතැයිද වෛද්‍යවරු පවසති. මීට අමතරව එම සායනය තුළ සිටිය යුතු ශ්‍රේණි වෛද්‍යවරුන්ද ප්‍රමාණවත් නැතැයි එම සායනයේ වෛද්‍යවරු කියා සිටිති.

සායනයට පැමිණෙන රෝගීන්ට සති කිහිපයක් තිස්සේ රස්තියාදු වී ප්‍රතිකාර ලබා නොගෙන ආපසු හැරී යාමට සිදුව ඇත. මෙම තත්ත්වය හමුවේ වෛද්‍යවරු සියයට 60ක් නොමැති බව කියමින් ඊයේ (20) දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

මේ සම්බ්නධයෙන් රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් පවසන්නේ වෙනත් රෝහලක සිටින උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉක්මනින් මෙම සායනය වෙත යොමු කිරීමට නියමිතව ඇති බවත් ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ හිඟය පිළිබඳ කිසිවක් කීමට නොහැකි බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *