හයේ මොඩියුලේ නැතිව දරුවන් පීඩනයෙන්…. දෙමාපියන් ඉසුරුපායේ අඛණ්ඩ විරෝධතාවකට…!

January 19, 2026 at 3:01 pm | by emanisa.lk

නියමිත පරිදි අධ්‍යාපන නවීකරණ කටයුතු සිදු නොකිරීම හේතුවෙන් ශිෂ්‍ය ප්‍රජාව දැඩි අගතියකට පත්වන බව පවසමින්, ගුරු සංගම් සහ දෙමාපියන් රජයට සිය විරෝධය පළ කර සිටියි.

දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරනු පිණිස, අදාළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මෙම වසර තුළදීම බලාත්මක කරන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

පවතින යල් පැනගිය ඉගැන්වීම් රටාව වෙනුවට හඳුන්වා දීමට නියමිතව තිබූ නව ක්‍රමවේදය ප්‍රමාද කිරීම නිසා 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් මානසික පීඩනයකට ලක්ව ඇති බව ‘6 ශ්‍රේණියේ දෙමාපිය එකමුතුව’ පෙන්වා දෙයි.

මෙම තත්ත්වයට විසඳුම් ඉල්ලමින් අද (19) දින එම එකමුතුව විසින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් ආරම්භ කරන ලදී.

මාස කිහිපයක් ප්‍රමාද වී හෝ මෙම වසරේ සිටම 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කර ස්ථිර විසඳුමක් ලැබෙන තෙක් සිය විරෝධතාව අත්නොහරින බව දෙමාපියන් අවධාරණය කරයි.

සිසුන් මත පැටවී ඇති අධික පීඩනය ලිහිල් කිරීමේ අරමුණින් රජය මෙම ප්‍රතිසංස්කරණ සැලසුම් කළ ද, පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව එය අඩාල වී ඇත.

එම තීරණයට අනුව මෙම වසරේදී නව ක්‍රමය ක්‍රියාත්මක වන්නේ 1 ශ්‍රේණියට පමණි. 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ සමාලෝචනයකින් පසු ලබන වසර දක්වා කල් දමා ඇත.

මෙම පියවර මගින් දරුවන්ට හිමිවිය යුතු අධ්‍යාපන අයිතිය උල්ලංඝනය වන බව පවසන විවිධ පාර්ශ්ව, මුල් සැලසුමට අනුවම ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස බල කරමින් දිවයින පුරා විරෝධතා සංවිධානය කරමින් සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *