කිසිම ඇමතිවරයෙකුට අල්ලස් චෝදනා නෑ… ඇමතිවරුන් අල්ලස් කොමිසමට කැඳවලත් නෑ… පැමිණිලිකරු කොමිසමට කැඳවනවා…! – ටිල්වින් සිල්වා…

December 30, 2025 at 9:55 am | by emanisa.lk

තම පක්ෂයේ කිසිවෙකුට වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දන්වා නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

එමෙන් ම, තම පක්‍ෂයේ කිසිවෙකු මෙතෙක් අයථා අයුරින් මුදල් උපයා නොමැති බවත් ඉදිරියටත් අයථා ලෙස මුදල් උපයන්නේ නොමැති බවත් ප්‍රධාන ලේකම්වරයා සහතික විය.

ටිල්වින් සිල්වා මේ බව පැවසුවේ, වත්මන් රජයේ ඇමතිවරු හයකට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ අයථා වත්කම් සම්බන්ධ පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි පළ වූ පුවතකට පිළිතුරු දෙමිනි.

සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ, බිමල් රත්නායක, නලින්ද ජයතිස්ස, සුනිල් වටගල හා කුමාර ජයකොඩි යන අය පිළිබඳව අදාළ පුවත පළ වී ඇති අතර එය මේ දිනවල සමාජ මාධ්‍යයෙහි සංසරණය වන බවත් එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.

වත්කම් බැරකම් ලබා දුන් පසු ඕනෑම පුද්ගලයෙකුට එම වත්කම් බැරකම් පිළිබඳව සැකයක් ඇත්නම් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හැකි අතර ඒ අනුව එක්තරා පුද්ගලයෙක් ඊට අදාළව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එම පැමිණිලිකරුට එම පැමිණිල්ලෙහි වැඩි විස්තර ලබා ගැනීම සඳහා අදාළ විමර්ශන ආයතනයට පැමිණෙන ලෙස දන්වා ඇති බවත් ‍ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ ය.

එසේ නොමැතිව ආණ්ඩුවේ අමාත්‍යවරු හය දෙනෙකුට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණෙන්නැයි දැනුම් දී නොමැති බව පැවැසූ ලේකම් ටිල්වින් සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ, යමෙකු පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසු ඊට ක්‍රියාත්මක වීම අදාළ ආයතනයේ වගකීම බව ය.

මව්බිම

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *