දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වයෙන් මෙරට රැකියා නියුක්තිකයන් 374,000ක පමණ පිරිසකට බලපෑම් එල්ල වී ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි.
මෙරටට බලපෑ ආපදා තත්ත්වය පිළිබඳ එම සංවිධානය සිදුකළ පර්යේෂණයක මූලික වාර්තාවකින් පෙන්වාදී ඇත්තේ බලපෑමට ලක්වූ රැකියා නියුක්තිකයන්ට යළි රැකියා සොයා ගැනීමට නොහැකිවුවහොත් රටට අමෙරිකානු ඩොලර් මිලියන 48ක පමණ මාසික ආදායමක් අහිමි වන බවය.
සුළි කුණාටුව හේතුවෙන් මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 7.5කට එනම් පුද්ගලයින් මිලියන 1.7කට බලපෑම් එල්ල වී ඇති අතර දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 16ක් පමණ අවදානමට ලක්කර ඇති බව ඔවුන් පවසයි.
එමෙන්ම ආපදා තත්ත්වයට ඍජුව නිරාවරණය වූ කෘෂිකර්මාන්තයට මෙන්ම ධීවර කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිකුත් කළ ඇස්තමේන්තුවේ සඳහන්ය.
ගංවතුර තත්ත්වයෙන් මෙරට සමස්ත කුඹුරු වගාබිම් ප්‍රමාණයෙන් සියයට 23කට පමණ හානි සිදුව ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි.
පුද්ගලයින් මිලියන 2.5කට අධික පිරිසක් සේවය කරන සහ වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 1.3ක අපනයන දායකත්වයක් ලබාදෙන මධ්‍යම කඳුකරයේ තේ වගා භූමි රැසක් නායයෑමට ලක්වීම හේතුවෙන් තේ නිෂ්පාදනය ද සියයට 35කින් පමණ පහළ යනු ඇති බව ද ජාත්‍යන්තර කම්කරු සංවිධානය පෙන්වා දී තිබේ.