මාමගේ හේනට පැන්න පොලිස් නිලධාරියා ගහන්න ආවා… අපි බොහොම අමාරුවෙන් බේරිලා ගියා….! – මාලිමා මන්ත්‍රී…

December 22, 2025 at 10:54 am | by emanisa.lk

සූරියකන්ද පොලිසියට අනුයුක්තව සේවය කරන සුසන්ත හෙට්ටිආරච්චි නම් පොලිස් සහායක නිලධාරියා තමන්ට පහර දීමට උත්සාහ කළ බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර පවසයි.

යතුරු පැදියකින් පැමිණි අදාළ නිලධාරියා අවමගුල් ගෙදරක යමින් සිටි සිය නිල රථය නවතා සිය නම පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේ ඇයිදැයි අසමින් තර්ජනය කළ බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

මෙම සිදුවීම අවස්ථා දෙකක සිදු වූ බවත් ඒ අවස්ථාවේ අවට සිටි පිරිස මැදිහත් වී පොලිස් නිලධාරියා බීමත්ව සිටින නිසා ගැටුම් ඇති කර නොගෙන යන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවත් ශාන්ත පද්මකුමාර ප්‍රකාශ කරයි.

මේ අතර එම පොලිස් නිලධාරියා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් තමන්ට පහර දුන් බව ප්‍රකාශ කරමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. කොළොන්න රෝහලට ඇතුළත් කළ එම නිලධාරියා අනතුරුව ඇඹිලිපිටිය රෝහලට යොමු කර ඇත.

පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රෝහලේ රෝගී කාර්ය සටහන් වාර්තාවේ ප්‍රශ්වාස වාතයේ ඇල්කොහොල් ගඳ වහනය වන බවට සටහන්ව ඇති බවත් නිලධාරියාගේ මුත්‍රා සාම්පල්වල මත්ද්‍රව්‍ය නොමැති බව තහවුරු වී ඇති බවයි. කෙසේ වුව ද ඔහුගේ රුධිරයේ සාම්පල් ලබා ගෙන මත්පැන් භාවිත කර සිට ඇද්ද යන්න පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවත්ය.

පසුගියදා සූරියකන්ද පොලිසිය මගින් මන්ත්‍රීවරයාගේ මාමාගේ ඉඩමේ තිබූ ගංජා වගාවක් වටලා ඇති අතර සුසන්ත හෙට්ටිආරච්චි නම් මෙම නිලධාරියා ද සම්බන්ධ වී තිබේ. පොලිස් නිලධාරියා පවසන්නේ ‍ඒ හේතුවෙන් තමන්ට පහර දුන් බව ය.

20 වන දා රාත්‍රී සුරියකන්දේ සිට කලුගල ප්‍රදේශයේ පිහිටි තම නිවසට යමින් සිටියදී තමන්ට පහර දීමට අවස්ථා දෙකකදී වාහනයකින් පැමිණ උත්සාහ කළ බවත් දෙවන අවස්ථාවේදී කලුගල පන්සල පාරේදී ගුණතිලක යන අයගේ නිවෙස අසලදී ඔහුගේ යතුරුපැදිය නතර කර වාහනයේ සිටි රියැදුරු සහ මන්ත්‍රිවරයා සහ තවත් 4ක් – 5ක් වන කණ්ඩායමක් පැමිණ‘තෝ මරනවා’ යනුවෙන් ප්‍රකාශ කරමින් පහර දුන් බව ය.

එම ස්ථානයේ ඇති නිවෙස තුළට එම පොලිස් නිලධාරියා කොටුකර ගැනීමට ගත් උත්සාහය ද ව්‍යර්ත වී ඇත. ඊට විනාඩි කිහිපයකට පෙර තැන්නහේන හන්දියේදීද මෙම පොලිස් නිලධාරියා සමග බහින් බස්වීමකට ද පැමිණ ඇත. එම අවස්ථාවේදී තමන් ඉවත්ව ගිය බව ඔහු පවසයි.

පසුව වෙනත් ස්ථානයක කැබ් රථය නතර කර සිට ඇති අතර එහිදී මෙම පිරිස හා පොලිස් නිලධාරියා අතර මෙම ගැටුම සිදුව ඇති බවට වාර්තා වේ. මෙහිදී පොලිස් කොස්තාපල්වරයාගේ මුහුණට කසිප්පු පාර්සලයකින් ගැසූ බවද පොලිස් කොස්තාපල්වරයා පොලිසියට පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස