සත්ව සුබසාධන සංගමයක් නියෝජනය කරමින් පැමිණි නීතිඥවරියකට එරෙහිව කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් කටයුතු කළ ආකාරය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ දර්ශනවලට අනුව, තමන් නිල නොවන මහේස්ත්රාත්වරයෙකු බවට නගරාධිපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි සහ මහ ජනයා නොමඟ යවන සුළු ප්‍රකාශයක් බව ද නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
නගරාධිපතිවරයා සතුව කිසිදු මහේස්ත්‍රාත් හෝ විනිශ්චය බලතලයක් නොමැති බව එම නිවේදනය මඟින් වැඩි දුරටත් මතක් කර දී තිබේ.
නීතිඥවරියක සිය සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටීමේ දී ඇයගේ වෘත්තීය වගකීම් සහ ස්වාධීනත්වයට බාධා කිරීම බරපතළ වරදක් බව ද නීතිඥ සංගමය පෙන්වා දෙයි.
රන්ජන් ජයලාල්ගේ මෙම හැසිරීම නීතියේ ආධිපත්‍යයට සිදුකළ අභියෝගයක් ලෙස සලකා එය දැඩි ලෙස හෙළා දකින බවද එම සංගමය සඳහන් කරයි.