විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීමටත්, වසර ගණනාවක් තිස්සේ ඇණහිට ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීමටත් අවශ්‍ය මූලික කටයුතු රජය විසින් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
ඊයේ (19) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් 27/2 යටතේ යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා ය.
‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. නව ව්‍යවස්ථාව මහජන සංවාදයකට ලක් කර ජනමත විචාරණයකින් සම්මත කර ගැනීමට නියමිතය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, විධායක බලතල රහිත ජනාධිපතිවරයෙකු පත් කිරීම සහ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම මෙහි මූලික අරමුණයි. මීට පෙර පත් කළ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටු වාර්තා අධ්‍යයනය කරමින් පවතින අතර, ඉදිරියේදී මූලික සංකල්ප පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතේ පවතින නෛතික ගැටලු හේතුවෙන් මෙතෙක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට රජය සූදානම් බව අගමැතිනිය පැවසුවාය.
මැතිවරණය පැවැත්වීමට බාධාවක්ව පවතින සීමා නීර්ණ වාර්තාව පිළිබඳව හෝ පවතින පනත සංශෝධනය කිරීම පිළිබඳව රජය දැනට අධ්‍යයනය කරමින් සිටී. මෙම මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2026 අයවැය මගින් වෙන් කර ඇති බව ද ඇය අනාවරණය කළාය.
මීට අමතරව, ස්වාධීන පරීක්ෂණ සහ නඩු පැවරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ‘රජයේ අභිචෝදනාගාරය’ (Office of the Independent Prosecutor) පිහිටුවීමට අවශ්‍ය නව නීති සහ සංශෝධන පිළිබඳව ද රජයේ අවධානය යොමු වී ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.