ජාතික ජන බලවේග දේශපාලඥයන්ගේ බලපෑම් හමුවේ ආපදා වන්දි ගෙවීම් රාජකාරි නිසියාකාරව හා සාධාරණව සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව පවතින බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු සුමිත් කොඩිකාර පවසයි.
“රජය මගින් පිහිටුවා ඇති ග්‍රාමීය ප්‍රජා ශක්ති කමිටු සාමාජිකයෝ මේ වන්දි ගෙවීම් කටයුතුවලට බරපතළ ආකාරයෙන් මැදිහත් වෙනවා. ඒ අය ආපදා නොමැති අයට වන්දි ආකෘති පවා ලබා දීමට පියවර ගන්නවා. මේක ඉතාමත් ම නීති විරෝධී තත්ත්වයක්. ඒ අනුව, අපිට සාධාරණව රාජකාරි කර ගන්න විදිහක් නෑ. ලංකාවේ ඉන්න ජාතික ජන බලවේගයට සම්බන්ධ සියලු ම අයට වන්දි ගෙවන්න වෙයි මෙහෙම ගියොත්.
අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ අපිට ස්වාධීනව මේ කටයුතු කරන්න අවස්ථාව දෙන්න කියලයි. අපි කිසිම දේශපාලන පක්ෂයකට නෑ. මේ රට අසීරුවට පත්ව ඇති අවස්ථාවේ ග්‍රාම නිලධාරීන් විශාල පිරිසක් පීඩාවට හා ආපදාවට පත්ව සිටියදී ඒවා නොසලකා මේ රාජකාරි කරන්නේ. අපි හැතැප්ම ගණන් පා ගමනින් යනවා. අපි මේ රාජකාරි සාධාරණව ඉටු කරන්න දරන වෙහෙස පිළිබඳව හොයන්න බලන්න කවුරුත් නෑ.
ග්‍රාම නිලධාරීන්ගේ ගෙවල් පවා විශාල වශයෙන් විනාශ වෙලා තිබෙනවා. එහෙම තියෙද්දී එම තත්ත්වයන් නොසලකා රටේ ජනතාවගේ ආපදා තත්ත්වයන් පිළිබඳව සාධාරණව රාජකාරි කරද්දී ඒකට මේ අය ඉඩ දෙන්නේ නෑ. ග්‍රාමීය ප්‍රජා සංවර්ධන කමිටුවලට ආපදා මුදල් ගෙවීම සම්බන්ධයෙන් සම්බන්ධ වීමට කිසිදු හෝ නීතිමය ප්රතිපාදනයක් නෑ. ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කරන්න අපි සූදානම්. නමුත් ඔවුන්ට රාජකාරි බලය අතට ගන්න දෙන්න අපට හැකියාවක් නෑ.
රටේ ජනතාව ආපදාවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටින වෙලාවේ මේ තත්ත්වය මූලික කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම් නෑ. අපි මුලින් ම බලන්න ඕනේ රටේ ජනතාව ගැනයි. ලාල්කාන්ත ඇමතිතුමා කියනවා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන කටයුතු කරන්න කියලා. අපි ඒකට එකඟයි. නමුත් එයාල සීමාව ඉක්මවා කටයුතු කරනවා නම් අපි ඒකට එකඟ නෑ. අපේ රාජකාරිවලට මේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ, ජාතික ජන බලවේග ක්රියාකාරිකයෝ, ග්‍රාමීය ප්‍රජා සංවර්ධන කමිටු සාමාජිකයෝ සිදුකරන බලපෑම් අපි තරයේ හෙළා දකිනවා. ග්‍රාම නිලධාරීන්ට සාධාරණව නිදහසේ තම රාජකාරි සිදු කිරීම සඳහා අවශ්‍යය වාතාවරණය සකසා දෙන මෙන් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.”
ඊයේ (10) මහනුවර පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු මේ බව කීය.