ඉදිරි කාලය සඳහා ලබා දී ඇති වර්ෂාපතන පුරෝකථන අනුව මේ වන විට දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක පවතින ජල මට්ටම් තව දුරටත් අඩු කරමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂ එල්.එස් සූරියබණ්ඩාර පැවසුවේ මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චදූව, රාජාංගන, දැදුරු ඔය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, වෙහෙරගල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රයේ ද මේ වන විට ජල මට්ටම් අඩු කිරීම සඳහා ජලය නිදහස් කරමින් පවතින බවය.
කෙසේ නමුත් මෙම නිදහස් කරන ජල ප්‍රමාණයෙන් මගින් එහි පහළ ප්‍රදේශ සඳහා කිසිදු බලපෑමක් සිදු නොවන බවත් වාරිමාර්ග අධ්යක්ෂවරයා සඳහන් කළේය.
මේ වන විට ලබා දී ඇති පුරෝකථනයන් අනුව ඉදිරියේ දී වර්ෂාව ලැබීමේ හැකියාවක් පවතින බැවින් මෙම තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින කාර්යාල පැය 24ම විවෘත කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධව නිරන්තරයෙන් දැනුම්වත් කිරීම් සිදුකරන බවත් වාරිමාර්ග අධ්යක්ෂවරයා පැවසීය.