පුටුව අල්ලා ගත් කුම්භාණ්ඩයක් එළවන්න නිලධාරීන්ට කොන්දක් තියෙන්න ඕන….! – හිටපු රාජ්‍ය පරිපාලන ලේකම්….

December 6, 2025 at 11:40 am | by emanisa.lk

නිල රැස්වීමක් අතර මහනුවර මහ දිසාපතිවරයාගේ අසුනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉඳ නිර්ලජ්ජිත ක්‍රියාවක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්, හිටපු පරිපාලන නිලධාරි ජිනසිරි දඩල්ලගේ පවසයි. ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව පෙන්වා දී තිබේ.

දිසාපතිට ඒ දිසාපති පුටුව හැර වෙනත් දිසාපති පුටු තිබේද?

එසේය. ඒ පුටු දෙකම දිසාපතිගේමය. එක්තරා නංගියෙක් නිල් පාටින් රවුම් කර පෙන්වන්න හදන්නේ අන්න බලන් සඳ දිසාපති පුටුව දැක්කේ නැත්නම් ඒක නෙවයි මේ. මේ නංගිගේ මතය නම් මේ පුටුව දිසාපතිටත් දිසාපති මනාප නම් හෝ අමනාප බැව් නොපෙන්වන්නේ නම් හෝ නෝංජල් නම් ඕනෑම හාල්පාරුවෙකුට වුණත් ඉඳ ගෙන පුටු සුවයක් ලද හැකි බවයි. ඒ නංගි මේ නිර්වස්ත්‍රව සිට උත්සාහ ගන්නේ තමා අදහන්නෙක් විසින් කරන ලද ඒ නිර්ලජ්ජීත ක්‍රියාන්විතය ගංවතුරෙන් පිරිසිදු කිරීමටය.

මේ තියෙන්නේ දිසාපති නිල කාමරයයි. දිසාපති කුඩා රැස්වීමක් තියන්නේ නම් එම කුඩා රැස්වීම් මේසය භාවිත කරයි. එහිදී දිසාපතිගේ පුටුව වර්ණයෙන් හා සයිස් එකෙන් වෙනස් කර තිබෙන්නේ මේ කාමරයට එන ඕනෑම කෙනෙකුට පුටුවේ නිල අයිතිකරු හඳුනා ගැනීමටයි. මෙතන සමාජවාදයක් හෝ කොමියුනිස්ට් වාදයක් හෝ සමානාත්මතාවාදයක් අදාළ නැත. සමහරු එම තර්කවලින්ද පුටු මනස සේදීමේ උත්සාහයන්ද තිබුණි. මෙතන කුළ බේදයක්, පංති බේදයක් ද නැත. බුද්ධියක්, සාමාන්‍ය දැනීමක් ඇති ඕනෑම කටුස්සෙක් මෙය තේරුම් ගත යුතුය. එලෙස තේරුම් ගෙන පුටුව හඳුනා ගත යුතුය. ගෙවල්වල වුණත් එක එක සයිස් පුටු තියෙන්නේ තම තම නැණ පමණින් ඒවා හඳුනාගෙන අසුන් සුවය විඳීමටය.

දිසාපති විසින් මේ පුටුව සෝදා පවිත්‍ර කර, කහ දියර ඉස නැවත පාවිච්චි කිරීමද අවශ්‍ය නොවේ. එය ඉදිරියේදී නොවීමට වග බලා ගැනීම, පූර්වාදර්ශයක්වී දිවයින පුරා ව්‍යාප්ත නොවෙන සේ කටයුතු කිරීම සෑහේ. මෙම මේසයේ රැස්වීමක් කිරීමට පෙර තමාගේ පුටුව අල්ලාගත් කුම්භාණ්ඩයෙක් සිටී නම් KKS කෙනෙක් ලවා කනට කොඳුරා හෝ කොන්ද කෙලින් තියාගෙන ‘ඔය මහත්තයා කරුණාකර අර පුටුවට යන්න’ කියා හෝ එම පුටුව හිස් කර ගෙන පමණක් රැස්වීමේ අසුන් ගැනීම දිසාපති වගකීමකි. එහෙම කරලත් පුටු පෙරේතයා එලවන්න බැරිනම් urgent වෙන රැස්වීමක් හෝ තැනට සුදුසු ප්‍රලාපයක් කියා හෝ කාමරයෙන්ම පිටවීම සුබදායකය. රැස්වීම යකාට ගියත් එසේ කිරීම සේවයේ ගරුත්වයට කළ යුතුමය. හැම එකාගේම කිළිටි රෙදි සේදීම රාජ්‍ය සේවකයාගේ වගකීමක් නොවන බව ක්‍රමෝපායිකව ඒත්තු ගැන්වීමටද, කොඳු නාරටිය ශක්තිමත් කර ගැනීමටද එවැනි ක්‍රියාමාර්ගවල පට්ට වටිනාකම් ඇත.

ප්‍රධාන රැස්වීම් ශාලාවේ බොහෝ දුරට වේදිකාවේ පුටු එක සමානය. එහිදී කොයි පුටුවේ සිටියත් ඒ ඉන්නෙ දිසාපති කියා සෙසු ප්‍රජාව දැන ගන්නේ නිසි දිසාපති හැසිරීම්, හැකියා කුසලතා හා සන්නිවේදන ශක්තීන් ආදිය අනුවය. පරිපාලන සේවය නිර්මාණය කළ යුත්තේ එවැනි නිලධාරීන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *