ඉදිරි දින තුනක කාලයක් තුළ මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම යථාවත් කිරීමට හැකිවනු ඇතැයි ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ රැස්වීමෙන් අනතුරුව ඊයේ (01) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මහනුවර දිස්ත්‍රික්කයේ මහා මාර්ග, විදුලිය, ජල සම්පාදනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සක්‍රීය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් නගරයට අවශ්‍ය අත්‍යවශ්‍ය සැපයුම් සේවා කඩිනමින් ළඟා කර ගැනීම සඳහා කුරුණෑගල සිට ගලගෙදර හරහා මහනුවර මාර්ගය දැනට භාවිත කරන බව හෙතෙම කීවේය.
වැසි රහිත කාලගුණික තත්ත්වය යටතේ මෙම මාර්ගය දැනට ස්ථාවර තත්ත්වයේ පවතින බව කී නි. ඇමතිවරයා, මහනුවර මහියංගනයේ මාර්ගයේ එක් මං තීරුවක් විවෘත කර ඇති බවත් දැනට ගල් පෙරළී අවහිර වී ඇති ස්ථාන පිළිසකර කිරීමෙන් අනතුරුව ඉන්ධන ප්‍රවාහනය කිරීමේ විශාල බවුසර් ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ඔහු කීවේය.
මහනුවර දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රධාන මාර්ගය පිළිසකර කරමින් පවතින අතර අතුරු මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් පාලන ආයතනවල සහභාගිත්වයෙන් සිදුකෙරෙයි.