ආණ්ඩුව මාධ්‍ය දඩයමට CIDය උසි ගන්වයි… වසරේ තෙවන වතාවටත් අරුණ කර්තෘ CIDයට…!

November 24, 2025 at 9:30 am | by emanisa.lk

අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුමට අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් සිදුකර තිබේ.

ඒ, පසුගිය 19 වනදා එම පුවත්පතේ ප්‍රධාන පුවත ලෙසින් පළවූ “ග්‍රාම නිලධාරී සහතිකය මදි පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානිගේ අනුමැතියත් ඕනෑ” යන පුවත සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ය.

එම පුවතට අදාළව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාව CIDය විසින් ප්‍රශ්න කිරීමට නියමිත බව සඳහන්ය.

මෙම අරුණ පුවත්පත විසින් පමණක් නොව සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ පිරිස් අනාවරණය කර තිබූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබිණි. ඒ අනුව, අදාළ පුවත සත්‍යයක් බව පාර්ශ්ව ගණනාවක්ම පෙන්වා දී ඇත.

පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පුවත්පත් පැමිණිලි කොමිසම, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වැනි ආයතන තිබියදී පොලීසිය භාර අමාත්‍යවරයා විසින් මෙසේ CIDය යොදවා පුවත්පත් කර්තෘවරුන් ප්‍රශ්න කරවීම පැහැදිලිවම මාධ්‍ය නිදහසට කෙරෙන තර්ජනයක් බව මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ අදහස වී තිබේ. අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා මේ වසරේ දී CIDය හමුවට කැඳවන තුන්වැනි වතාව මෙයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *