අරගලයේ සියලු ඉල්ලීම් ඉටු කළත් ඊළඟ ඡන්දෙන් මම පැරදුණා…! – රනිල් වික්‍රමසිංහ…

November 21, 2025 at 9:40 am | by emanisa.lk

2022 වසරේදී තමන්ගේ පාලනය තුළ ගෝල්ෆේස් අරගලය මර්දනය සමග උද්ගතව පැවති දැඩි ප්‍රශ්න මැද පවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමට තමන්ට හැකිවූ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

“අපිට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න පුළුවන් වුණා. බංග්ලාදේශයේත් ප්‍රශ්නයක් ඇති වුණා. එතැන පාරට බැස්සා අන්තිමට ආණ්ඩුවට වෙඩි තියන්න වුණා. අපිට තරම් උග්‍ර ප්‍රශ්නයක් නෙමෙයි. නේපාලයේ බලන්න සමාජ මාධ්‍ය පාලනය කිරීම ගැන. එතැනින් ඇති වුණේ ප්‍රශ්නය.

මේවා නෙමෙයි අපිට තිබුණේ ඊට වඩා උග්‍ර ප්‍රශ්න. කෙසේ හෝ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අපි ක්‍රියා කළා. අපිට ඒක කරන්න පුළුවන් වුණා. අරගලය මර්දනය කරා කියලා බීබීසියෙන්, අල්ජසීරා එකෙන් හැම තැනින්ම කිව්වා. කොච්චර මර්දනය කරාද කිව්වොත් ඊළඟ ජනාධිපතිවරණයෙන් මම පැරදුණා.

ඒවාගේ සාර්ථක මර්දනය කිරීමක් මම හිතන්නේ නෑ ලෝකයේ කොහේවත් ඇති වුණා කියලා. අපි යන මාර්ගය අපි හදාගන්න ඕනේ. පිටින් කියන විදියට ඒවා කරන්න බෑ. දැන් තව ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා අපේ ප්‍රදේශයට ආසියාවෙන් මේ බලවේග තියෙනවා ද කියලා පිටිපස්සෙන්. අපි ඒවා එකකටවත් යටත් නොවී අපිටම පුළුවන් වුණා මේ ප්‍රශ්නය විසඳා ගන්න.

ආර්ථිකයත් හැදුවා. රටේ ඉල්ලීම් තිබුණා එතැන ගෝල්ෆේස් පිට්ටනිය, අරගලය, රට වටේම අපිට පොහොර දෙන්න, අපිට කෑම දෙන්න අපිට ඉන්ධන දෙන්න කියලා. ඒ තුනම ලබලා දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කිව්වා. ඒකත් කරා. දුෂණය නැති කරන්න කිව්වා. දුෂණ විරෝධී පනත සම්මත කරා.

එකක් මතක තියා ගන්න, ආසියාවේ පරණම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තමා ලංකාව. අපි මේක අගය කරන්න ඕනේ. මේක ආරක්ෂා කරන්න ඕනේ. ඉදිරියට ගෙනියන්න ඕනේ. ඕනෑම ආණ්ඩුවක යුතුකමක් ඒක. ඒක කරන්න බැරිනම් ආණ්ඩුවකට කියන්න බෑ අපි පාලනය කරනවා කියලා.”

රනිල් වික්‍රමසිංහ මේ බව පැවසුවේ ඊයේ (20) කොළඹදී පැවති උත්සවයකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *