උතුරු සහ නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා තවදුරටත් පැරණි දේශපාලන විසඳුම් සුදුසු නොවන හෙයින් ඒ සඳහා නව දේශපාලන විසඳුමක් කරා යොමු විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් අතර ඊයේ (19) පැවති විශේෂ සාකච්ඡාවකදීය.
මෙම මන්ත්‍රිවරුන් හමුවීම සඳහා ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇති අතර මෙහිදී පළාත් සභා මැතිවරණය සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැන නැඟී ඇති අර්බුද පිළිබඳව සාකච්ඡා කර ඇත.
එමෙන් ම, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඇති වී ඇති ගැටලු පිළිබඳවද එම මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇති අතර එය වැළැක්වීම සඳහා ජාතීන් අතර සංහිඳියාව තහවුරු කිරීම පිළිබඳව ද අදහස් දක්වා තිබේ.
පළාත් සභා මැතිවරණය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, උතුරු සහ නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා තවදුරටත් පැරණි දේශපාලන විසඳුම් සුදුසු නොවන හෙයින් ඒ සඳහා නව දේශපාලන විසඳුමක් කරා යොමු විය යුතු බව රජය විශ්වාස කරන බවයි. ඒ සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
උතුරේ සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන ඕනෑ ම ව්‍යාපෘතියකට තම පක්ෂයේ නොමඳ සහාය ලබා දෙන බවත් ජාතිවාදයට එරෙහිව ආණ්ඩුව ගන්නා ඕනෑ ම තීරණයකට දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය දැක්වීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ එම්.ඒ. සුමන්දිරන් පැවසුවේය.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සී.වී.කේ. සිවඥානම්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එස්. රාසමානික්කම්, පී. සත්‍යලිංගම්, ජී. ශ්‍රීනේෂන්, එස්. ශ්‍රී ධරන්, ටී. රවිහරන්, කේ. කෝඩීෂ්වරන්, කේ.එස්. කුගදාසන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ එම්.ඒ. සුමන්දිරන් යන මහත්වරුද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මෙම අවස්ථාවට එක්ව සිටියහ.