ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් නොවැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත රැලියෙන් ආණ්ඩුවට කිසිදු බලපෑමක් නොමැති බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.
“කලින් ආණ්ඩුව පෙරළනවා කිව්වා, ඊට පස්සෙ ආණ්ඩු විරෝධයක් කිව්වා, පස්සෙ කිව්වා ආණ්ඩුවෙ පොරොන්දු මතක් කරන රැලියක් තියෙන්නෙ කියලා. ඉතින් මේ විදියට ඒ කට්ටියගෙත් 21 වෙනිදා රැලියේ අරමුණ වෙනස් කරලා තියෙනවා. ඒ නිසා අපි නෙවෙයි, ඒ රැලිය සංවිධානය කරන කට්ටියගෙම ගැලපෙන්නෙති නැති කතා තියෙන්නෙ.
අද එක කතාවක් කියනවා, හෙට වෙන කතාවක් කියනවා. ඒ නිසා මං හිතන්නෙ මේක ජනතාවටත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ 21 වෙනිදා මොකක්ද කරන්න යන්නෙ කියලා. ඒ නිසා හොඳම වැඩේ තමයි 21 වෙනිදා මොකක්ද කෙරෙන්නෙ කියලා 21 වෙනිදායින් පස්සෙම බලාගන්න එක.
මේකෙන් ආණ්ඩුවට කිසිදු බලපෑමක් නෑ. ජාතික ජන බලවේගයේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, ජාතික ජන බලවේගයේ දේශපාලනයට අභියෝග කරන්නත් කාටවත් බෑ. මේ වගේ කුඩා කෙඳිරිලිවලින් අභියෝග කරන්න පුළුවන් කියලා අපි හිතන්නෙ නෑ.”
අමාත්‍ය සුසිල් රණසිංහ මේ බව පැවසුවේ ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.