රජය මගින් වතු සේවකයන්ට ලබා දෙන රු. 200ක පඩි වැඩිකිරීම හිමිවන්නේ මහ පරිමාන වතු 25ක සේවකයන් සඳහා පමණක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.
රටේ සමස්ත තේ නිෂ්පාදනයෙන් සියයට 74 ක ප්‍රමාණයක් කුඩා තේ වතු හිමියන් නිපදවන බවත් එම වතුවල කම්කරුවන්ට අයවැයෙන් යෝජිත එම රු. 200 දීමනාව නොලැබෙන බව ද හෙතෙම සඳහන් කරයි.
මහ පරිමාන වතුවල සේවකයන් 115 000ක් පමණ සේවය කරන අතර දැනට වතු කම්කරුවන්ට ලැබෙන වැටුපට රජයෙන් රුපියල් 200 ක දෛනික පැමිණීමේ දීමනාවක් ගෙවීමට යෝජනා කර ඇති අතර ඒ සඳහා මිලියන 5,000 ක් අයවැයෙන් වෙන් කර ඇත.
රජය මෙතරම් දැවැන්ත මුදලක් පෞද්ගලික වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීම සඳහා වෙන් කළ ද එම වතු සමාගම්වලින් අවම වශයෙන් ඊට සමාන බදු ආදායමක් නොලැබෙන බව ද මහාචාර්ය ප්‍රියංග දුනුසංහ පෙන්වා දෙයි.
විශාල වතුවලට අවශ්‍ය ඉඩම් ගොඩනැගිලි සහ වෙනත් යටිතල පහසුකම් රජය මගින් සපයා ඇතත් රජයට ඒවායෙන් සැලකිය යුතු කුලී ආදායමක් නොලැබීම ගැන අවධානය යොමු විය යුතු බව ද එම වතු සමාගම් යටතේ පවතින වතු ප්‍රජාවගේ සුබසාධනය වතු සමාගම්වල වගකීමක් වුවත් බහුතර වතු සමාගම් එය නොසලකා හැර ඇති බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
පෞද්ගලික වතු කම්කරුවන් සඳහා අඛණ්ඩව රජය දීමනාවක් ලබා දීම අයවැයට බරක් වන බවත් එයින් සැබෑ ප්රතිලාභ ලබන්නේ වතු සමාගම් හෙයින් ඒ සඳහා ජනතාවගේ බදු මුදල් යෙදවීම යුක්ති යුක්ත ද යන ප්රශ්නය මතු වෙන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.