ජගත් විතානට තර්ජන එන්නේ පාතාළ සබඳතා නිසායි…. දුන්නේ තාවකාලික ආරක්ෂාවක්…! – පොලිස්පති…

October 27, 2025 at 12:48 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට දැනට තාවකාලික ආරක්ෂාවක් ලබා දී ඇති නමුත් මෙම තර්ජනය ගොඩනැගී ඇත්තේ මන්ත්‍රීවරයා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සමඟ සහසම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන් බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

මෙම තර්ජනය මතු වී ඇත්තේ මහජන දේශපාලන කටයුතුවල නිරත වීමට යාම නිසා නොව, යම් යම් කූට ව්‍යාපාර සහ ජාවාරම්කාර පුද්ගලයන් සමඟ සහසම්බන්ධ වීමෙන් බව දැනට අනාවරණය වී තිබේ.

මෙම තර්ජනය නිර්මාණය වූ ආකාරය සම්බන්ධයෙන් පොලිසිය විසින් විවෘතව විමර්ශනයක් පවත්වන බව පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

විමර්ශන කටයුතු සඳහා ලැබෙන සෑම තොරතුරක්ම පහළ මට්ටමට යොමු කරමින් කටයුතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරන අවස්ථාවකදී අදාළ තොරතුරු එතුමාට ගිහිල්ලා තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

ඝාතනයට පත් වූ සභාපතිවරයෙකු විසින් ආරක්ෂාව සපයන ලෙස ලිඛිතව ඉල්ලීමක් කර තිබූ බවටද පොලිස්පතිවරයා පවසා සිටියේය. ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දී ඇති අතර, බිම් මට්ටමට ගොස් එම පුද්ගලයාට දැනුම් දී ඇති බවද සඳහන් වේ.

තව දුරටත් අදහස් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මෙරට දේශපාලනයට බලපා ඇති බරපතල තත්ත්වයක් පිළිබඳව අවධානය යොමු කළේය.

මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින් සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් දේශපාලනයට පැමිණ ඇති බවත්, ඉදිරියේදී ඔවුන් ජාතික දේශපාලනයට පවා පැමිණීමට සැලසුම් සකස් කර ඇති බවත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් සෑම දේශපාලන පක්ෂයකටම වගකීමක් ඇති බව පොලිස්පතිවරයා අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින්ට සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට සාමාජිකත්වය දිය යුතුද, ඉදිරි මැතිවරණවලදී අපේක්ෂකත්වය දිය යුතුද යන්න දේශපාලන පක්ෂ විසින්ම තීරණය කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම අපරාධකරුවන් දේශපාලනයට පැමිණෙන්නේ සුදු ඇඳගෙන කළු වැඩ කර තමුන්ගේ කර්තව්‍යයන් වන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සඳහා ආවරණයක් ලබා ගැනීමට උත්සාහ කරමින් බව ද පොලිස්පතිවරයා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *