ක්‍රිප්ටෝ ලංකාවේ පිළිගත් මුදල් ඒකකයක් නෙමෙයි…. මුදල් විශුද්ධිකරණයට භාවිත කරන්න පුළුවන්…! – මහ බැංකු අධිපති…

September 25, 2025 at 11:25 am | by emanisa.lk

මේ දිනවල රට තුළ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති අන්තර්ජාලයේ භාවිත වන ක්‍රිප්ටෝ මුදල් සඳහා රට තුළ දැනට නීතියක් හෝ නියාමනයක් නැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලා වීරසිංහ පවසයි.

මහ බැංකුවේ පැවැති මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අදහස් දක්වමින් අධිපතිවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ මුදල් ඒකකයක් ලෙස ගනුදෙනු සඳහා ව්‍යවහාර මුදල් ඒකකය වන රුපියල පමණක් පිළිගන්නා බවත් වෙනත් කිසිදු මුදල් වර්ගයක් නිල ගනුදෙනුවක් ලෙස පිළිනොගන්නා බවත් ය.

එමෙන් ම, ක්‍රෙඩිට් කාඩ් ඇතුළු කාඩ්පත් ගෙවීම් සඳහා කිසිසේත් ක්‍රිප්ටෝ මුදල් ඒකක භාවිත කළ නොහැකි බවත් මෙම මුදල් ආයෝජනය කිරීමේ නියාමනයක් හෝ නීතියක් රටේ දැනට නොමැති බවත් සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා ක්‍රිප්ටෝ මුදල් ආයෝජන අවදානම් සහගත ඒවා බවද ප්‍රකාශ කළේ ය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙසේද පැවසීය .

“ක්‍රිප්ටෝ මුදල් රට තුළ නිල වශයෙන් පිළිගත් ආයෝජන මුදල් නෙවෙයි. නමුත් අද අපට අහන්න ලැබී තිබෙනවා ඒ මුදල් රට තුළ ආයෝජනය කරන බව. එම මුදල් කිසිදු නියාමනයකට ලක්වන්නේ නැහැ.

මෙම ක්‍රිප්ටෝ මුදල් මූල්‍ය විශුද්ධිකරණය සඳහා භාවිත කිරීම වැළැක්වීමට අපට ජාත්‍යන්තර වශයෙන් බැඳීමක් තිබෙනවා.ඒ අනුව ඊට අදාළව අපි පියවර ගන්නා බව කිව යුතුයි.

රට තුළ දැනටමත් දේශීය හා විදේශීය ආයතන මෙම ක්‍රිප්ටෝ සපයන බව අපි දන්නවා ඔවුන් ඉදිරියේදී මහ බැංකුවේ මූල්‍යය බුද්ධි ඒකකයේ ලියාපදිංචි විය යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *