ලිට්‍රෝ ගෑස් ටෙන්ඩරේ දැවැන්ත වංචාවක්… අල්ලස් කොමිසමට පැමිණිලි….!

September 21, 2025 at 9:38 am | by emanisa.lk

පොදුජන දේපළ රැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ලිට්‍රෝ සමාගමේ ටෙන්ඩර් ක්‍රියාවලියක සිදුවූ බවට චෝදනා කරන මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පොදුජන දේපළ රැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන නුවන් තිලකරත්න ඒ සම්බන්ධව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම වංචාව මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිදරව් කළ බවයි.

ඒ මහතාට අනුව, මෙතෙක් කල් ලිට්‍රෝ සමාගම ලාභ ලබමින් මහජනයාට බරක් නොවූයේ එහි විධිමත් ටෙන්ඩර් ප්‍රතිපත්තිය නිසාවෙනි. එහිදී, ඔවුන් ප්‍රධාන තරගකරුවාට ටෙන්ඩර් සඳහා ලංසු තැබීමට අවසර නොදීම සහ ලංසුකරුවන් ඔවුන්ගේ තරඟකරුවන්ගේ ගබඩා හෝ ප්‍රවාහන පහසුකම් භාවිත කිරීම තහනම් කිරීම යන ප්‍රධාන කොන්දේසි දෙකක් මගින් සමාගමේ ස්ථාවරත්වය සහතික කර ගෙන තිබුණි.

කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව යටතේ හඳුන්වා දුන් නව ටෙන්ඩර් ප්‍රතිපත්තියක් මගින් ඉහත සඳහන් දෙවන කොන්දේසිය අවලංගු කර ඇතැයි පැමිණිලිකරු පවසයි. මෙම නව සංශෝධනය යටතේ, ලංසුකරුවන්ට ලිට්‍රෝ සමාගමේ ප්‍රධාන තරඟකරුවන්ගේ ගබඩා පහසුකම් භාවිත කිරීමට අවසර දී ඇත.

මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන්, මෙතෙක් ගෑස් මිල තීරණය කිරීමේදී ලිට්‍රෝ සමාගම සතුව තිබූ රාජ්‍ය ඒකාධිකාරය බිඳ වැටී, එහි පාලනය පුද්ගලික අංශය වෙත යොමු වීමේ අවදානමක් ඇති බව ඒ මහතා අවධාරණය කරයි.

මෙම ගනුදෙනුවේ බලපෑම අවසානයේ මහ ජනතාවගේ සාක්කුවට සෘජුවම දැනෙනු ඇති අතර “මේ රටේ මහජනතාවට ඒ සතයක් නෑර ගෙවන්න වෙනවා” යැයිද ඔහු සඳහන් කළේය. ජනතා ක්‍රියාකාරීන් ලෙස තම යුතුකම වන්නේ වැරැද්දක් පෙන්වා දීම බවත්, දැන් අදාළ ආයතනවල යුතුකම වන්නේ වැරදිකරුවන් හෙළිදරව් කිරීම බවත් ඒ මහතා ප්‍රකාශ කළේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *