විදුලි වෘත්තිය සමිතිවලට රංජන් ජයලාල් වැහෙයි… දැවැන්ත වර්ජනයකට සූදානම්….!

September 8, 2025 at 9:31 am | by Namal

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තව දුරටත් තීව්‍ර කිරීමට සූදානම් බවට අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත.

වෘත්තීය සමිති අවධාරණය කර සිටින්නේ රජය තම ඉල්ලීම්වලට සාධනීය ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, මෙම අරගලය රට පුරා වෘත්තීය සමිති ඒකරාශී කරගත් ඒකාබද්ධ වැඩ වර්ජනයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදාය කුමාර පවසන්නේ මේ වන විටත් බැංකු, විදුලි සන්දේශ සහ ඛනිජ තෙල් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකම වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධ වැඩ වර්ජනයක් සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවයි. මෙමගින් තම අරගලයට පුළුල් සහයෝගයක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කර ඇත.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා ලංවිම වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දෙසැම්බර් 15 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම කාලය තුළ තම ඉල්ලීම්වලට විසඳුමක් නොලැබුණහොත්, දෙසැම්බර් 16 වැනිදා සිට එම ක්‍රියාමාර්ගය තවදුරටත් උග්‍ර කරන බව වෘත්තීය සමිති පවසයි. එම පියවරද සාර්ථක නොවන්නේ නම්, පාරිභෝගිකයන්ට අපහසුතා ඇති වන ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනු ඇති බවට ඔවුන් අනතුරු අඟවා තිබේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පැන නගින ඕනෑම ගැටලුවක වගකීම, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාලය විසින් භාරගත යුතු බව වෘත්තීය සමිති නියෝජිතයෝ අවධාරණය කර සිටිති. ඔවුන්ට අනුව, ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ පවතින විදුලිබල සංශෝධිත පනතට පටහැනි ආකාරයටය.

ජාතික සම්පත් ආරක්ෂා කරන බවට පොරොන්දු වී බලයට පැමිණි රජය, සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සහ වෘත්තීය සමිති සමඟ ඇතිකරගත් එකඟතා නොසලකා හරිමින් මෙම ප්‍රතිව්‍යුහගතකරණය සිදුකරන බවට ඔවුන් චෝදනා කරයි. ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදි ලෙස සිදුකිරීම සහ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ඇතුළු ඉල්ලීම් 24ක් මුල් කරගෙනයි වෘත්තීය සමිති මෙම අරගලය ආරම්භ කර ඇති බවද ඔවුන් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *