පොහොට්ටු මන්ත්‍රීගේ වත්තට අයිස් ගෙන යෑම පිටුපස ආණ්ඩුව….?

September 6, 2025 at 3:01 pm | by Namal

අයිස් සෑදිමට ගන්නා රසායනික ද්‍රව්‍ය බව කියන බහාලුම දේශපාලකයෙකුගේ වත්තක වළදමා ඇත්තේ මීට දින කිහිපයකට පෙර ය.

ඒ නුවරඑළිය ප්‍රදේශයේ අදාළ මත්කුඩු ජාවාරම හසු වීමෙන් පසු, ඒ ගැන පොලිස් ඇමතිවරයා විසින් මාධ්‍යට හෙළි කිරීමෙන් පසුය.

එහි දී ඇත්ත වශයෙන් ම සිදු කර ඇත්තේ, අදාළ රසායනික ද්‍රව්‍ය පස්වල මිශ්‍ර කරකොට වළදැමීම ය.
ඒ අනුව, මෙම රසායනිකය එම වත්තට රැගෙන ආවේ කවුරුන් විසින් ද?

විශේෂයෙන් පොලීසිය විසින් අදාළ නුවරඑළිය තිප්පොල වටලෑමෙන් පසු, මෙම රසායනික තොගය, එහි හිමිකරුවන් විසින් තමන්ගේ ම වත්තට රැගෙන එතැයි කිසිසේත්ම සිතිය නොහැකි ය.

ඔහු විසින් එක්කෝ එය තමන්ට සම්බන්ධයක් නැති තැනකට හෝ ඇළකට ගඟකට මුදාහැර විනාශ කරනු ඇත. අදාළ තොගය පස් සමග මිශ්‍ර කර තිබෙන නිසා කොහොමත් එය නැවත භාවිතයට ගැනීමේ අවශ්‍යතාවක් තිබී නැත.

⁣මෙහි තවත් විය හැකි දෙයක් තිබේ. ඒ, ඉහත දේශපාලකයා මෙම ද්‍රව්‍ය, මෙම කුමන්ත්‍රණය නිර්මාණය කරන පාර්ශ්වයක අනුදැනුම මත, මෙම ද්‍රව්‍ය ගෙනැවිත් වළ දමා ඒවා පොලීසියට හසුවන්නට ඉඩ හැරියා ද විය හැකියි.

ලංකාවේ පොලීසියට මෙවන් කතා ගෙතීම ගැන කුප්‍රකට අතීතයක් සහ වර්තමානයක් ද තිබේ. රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නාවුක හමුදාපති ගැන බොරු කීමට බලකළ සිදුවීමක් ගැන පසුගිය දා ⁣ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු විය.

ඒ අනුව, මෙය අදාළ වත්තට රැගෙන ඒම පිටුපස පැහැදිලි කුමන්ත්‍රණයක් තිබෙන බව පෙනේ. මෙම බහාලුම් පසුගිය ජනවාරියේ විවාදාපන්න ලෙස වරායෙන් නිදහස් කළ ඒවා බව මාධ්‍ය වාර්තා පළව තිබේ.

එම බහාලුම් 323 නිදහස් කිරීම ගැන රජය හිතාමතා ම පරීක්ෂණ මගහැරි අතර, ඒවාහි හිමිකරුවන් ගැන තාමත් කිසිවෙකු දන්නේ නැත. මේ අතර, ආණ්ඩුවේ ඇමති සුනිල් වටගල නාමල් රාජපක්ෂ සහ අදාළ වත්තේ හිමිකරු බව කියන දේශපාලකයාගේ පින්තූර පෙන්වමින් මාධ්‍ය සාකච්ඡාවක් කරන්නේ ය.

මේ සියල්ල එකට තැබූ විට අපට සුරක්ෂිතව අනුමාන කළ හැක්කේ මෙය ආණ්ඩුවේ කිසියම් පාර්ශ්වයක අනුදැනුම මත හිතාමතා සිදු කළ ප්‍රචාරක ව්‍යාපාරයක කොටසක් බවයි.

මහින්ද පතිරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *