රනිල් හිරේ දමා ඔහුගේ මාධ්‍ය ප්‍රතිපත්තිය උස්සං යන ආණ්ඩුවට මාධ්‍ය සංගම් එරෙහි වෙයි….සාකච්ඡා වර්ජනය කරයි…!

August 26, 2025 at 9:30 am | by Namal

රජය විසින් සකස් කරනු ලබන ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියට සිය දැඩි විරෝධය පළ කරමින්, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLPJA) ලබන සැප්තැම්බර් 01 වන දින පැවැත්වීමට නියමිත සාකච්ඡාවකට සහභාගී නොවන බව නිවේදනය කර ඇත.

මේ බව මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

අදාළ ලිපියේ දැක්වෙන්නේ, පසුගිය රජය සමයේ සකස් කළ ප්‍රතිගාමී කෙටුම්පතක් පදනම් කරගෙන වත්මන් රජය විසින් ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට උත්සාහ කිරීම පිළිබඳව සංගමයේ බලවත් විරෝධය පළ කරන බවයි. එමෙන්ම, මෙම කෙටුම්පත රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට හිතවත් විද්වතුන් කණ්ඩායමක් විසින් රාජ්‍ය නොවන සංවිධානයක අරමුදල් යොදාගෙන සකස් කළ එකක් බවට ද ඔවුන් චෝදනා කරයි.

2025 මැයි 14 වන දින ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී, මීට පෙර සකස් කළ කෙටුම්පත ප්‍රතික්ෂේප කර සියලු මාධ්‍ය සංවිධානවල එකඟතාවය මත නව කෙටුම්පතක් සකස් කිරීමට එකඟ වූ බව ද ලිපියේ සඳහන් වේ. කෙසේ වෙතත්, එම එකඟතාවය නොසලකා හරිමින්, රනිල් වික්‍රමසිංහ රජයේ ප්‍රතිපත්තියම දිගුවක් ලෙස ඉදිරියට ගෙන යාමට වත්මන් රජය කටයුතු කිරීම පිළිබඳව සංගමය තම අප්‍රසාදය පළ කර ඇත.

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක අවශ්‍යතාවය පිළිගන්නා නමුත්, එය රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතා මත පිළුණු වූ සහ ප්‍රෝඩාකාරී කෙටුම්පතක් නොව, සියලු පාර්ශවකරුවන් සමඟ පුළුල් හා ඵලදායී සාකච්ඡාවකින් සකස් කළ නැවුම් කෙටුම්පතක් විය යුතු බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.

දැනට ඉදිරිපත් කර ඇති කෙටුම්පත විනිවිදභාවයකින් තොරව සකස් කළ ලියවිල්ලක් පමණක් බවත්, එයින් මාධ්‍ය ක්ෂේත්‍රයේ සැබෑ ගැටලු හඳුනා ගැනීමක් හෝ පුළුල් විසඳුම් ඉදිරිපත් කිරීමක් සිදු කර නොමැති බවත් ඔවුන් අවධාරණය කරයි.

සැබෑ ලෙසම මාධ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට සහ ජනතාවට මාධ්‍යයෙන් වන අගති වැළැක්වීමට රජයට උවමනාවක් තිබේ නම්, මාධ්‍ය අධ්‍යාපනය හා ප්‍රවර්ධනය සඳහා දැනට රට තුළ පවතින ස්වාධීන හා ප්‍රජාතාන්ත්‍රික ආයතනික රාමුව ශක්තිමත් කළ යුතු බව සංගමය වැඩිදුරටත් කියා සිටී. රජයේ මැදිහත් වීම් මත මාධ්‍ය නියාමනය හා නිදහසට බලපෑම් ඇති කරන ලියවිලි ඉදිරිපත් කිරීම වෙනුවට, සියලු දෙනාට පිළිගත හැකි මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටී.

මෙම ලිපියේ පිටපත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වෙත යවා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *