පවුලේ හවුලේ කන නිල වාහන අපිට තිබ්බෙ නෑ… ජනාධිපති ලේකම් අස් විය යුතුයි….!

August 5, 2025 at 4:01 pm | by emanisa.lk

(හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දියණිය වන තුෂාරා වික්‍රමනායක විසින් තබන ලද සටහනකි.)

ජනාධිපති/අගමැති බිරිඳට නියමිත නිල වාහනයක් තියෙන්නෙ නිල චාරිකාවක් යනවනං විතරයි. රටේ පියා වූ මගෙ පියාගෙ කිසිම නිල වාහනයක්, ආරක්ෂක නිලධාරියෙක්, ටෙලිෆෝන් කෝල් එකක් වත් මම භාවිතා කරලා නෑ. කොටින්ම, තෙවරක් අගමැති වුණු, එකම වැඩ බලන ජනාධිපති වුණු පියාගෙ අරලියගහ මන්දිරයේ කාර්‍යාලයට වත් ගිහිං නෑ. එකම එක පාරක් flower road එකේ කාර්‍යාලයට ගියා දරුවො පොඩි කාලෙ.

තාත්තා අගමැති කාලෙ අඹු සැමි ලොකුම ඔට්ටුව වුණේ අම්මට වාහනයක් නොදෙන එක. නිල වැඩ රාශියක් තියෙද්දිත් අන්තිම මොහොතෙ තමයි කාර් කට්ටක් එවන්නෙ. බොහෝ විට ඇයගෙ පෞද්ගලික වාහනයෙන් යනවා, එහෙම නැත්තම් ටැක්සි වලින් යනවා. ඉස්සර වරප්‍රසාද තිබිලත් ඉල්ලන හැම දේටම ගත් කටටම දෙන උත්තරේ තමා “භාණ්ඩාගාරයෙ සල්ලි නෑ!” අම්මට සිරි වෙන ඒ උත්තරේට නම් කනේ ඇඟිලි ගහගන්න සයිස් එකේ ප්‍රති ප්‍රහාරයක් අනිවාර්‍යෙන් අගමැති බිරිඳගෙන් ලැබෙනවා.

කොටින්ම, 2010 ලංකාවට ආපු මුල් කාලයේ අපි වාහනයක් හයර් කරගෙන ගමනක් යනකොට මහ රෑ චෙක් පොයින්ට් එකක නැවැත්තුවා. මම ශෝර්ටක් ඇඳලා, බබාලා දෙන්නා පිටිපස්සෙ නිදි. බ්‍රිතාන්‍ය ජාතික හස්බන්ඩ් රියදුරු. බහින්න කිව්වා. ඔහු බැස්සා. දැං අතින් පයින් හෝ ගාලා කතාව. බැරිම තැන නිලධාරීන් ඇවිත් මටත් බහින්න කිව්වා. ආං එතකොට මං බෑ කිව්වා. කාන්තා නිලධාරිනියක් නැතිව බහින්න බෑ. බබාලත් කාර් එකේ කියලා. වැඩේ හරියන්නෙ නෑ, කටහඬ වල් උස් වෙනවා. ඒ අස්සේ මගෙ මහත්තයා හැමෝටම “no no machang” කිය කියා දන්න එකම සිංහල වචනෙන් ඇරගන්න හදනවා. බැරිම තැන මම මගේ ID එක දීලා මගේ නෑකම හෙලි කලා. තුවක්කුව කරේ ගහං හිටපු තරුණ නිලධාරියාගෙ ඇස් උඩ ගියා. පස් පාරක් විතර ඇහුවා “මේ අපේ අගමැතිගෙ දුවද?” කියලා. උසස් නිලධාරියාට ගිහිං මොනවාදො කිව්වා. එයාගෙත් ඇස් උඩ ගියා. මගෙ ID එක හස්බන්ඩ්ට දුන්නා. ඇවිත් කාර් එකට නැග්ගා. අපි ගියා.

පහුවදා හරියට උදේ 6ට කෝල් එකක් එනවා. කබ පෙරාගෙන, යන්තම් ඇස් ඇරලා “හලෝ” කිව්වා විතරයි එහා පැත්තෙන් “වැරදි වැඩ කරලා මගේ නම පාවිච්චි කරන්න එපා!” කියලා කෑගහලා තිබ්බා. මාත් කලබල වෙලා අගමැතිගෙ Security Chief ට කෝල් කලා. එදාම රෑ ඒගොල්ලන්ට කෝල් එකක් ඇවිත් අගමැතිට දුවෙක් ඉන්නවද කියලා අහලා, සිද්දියෙ විස්තරේ කියලා. උදේම security වාර්ථාවට ඒකත් දාල. ඒක දැකපු රටේ පියා ආවේස වෙලා තමයි මට කෝල් කලේ. අදටත් Security දන්නෙත් නෑ, මම දන්නෙ නෑ මොකක්ද කරපු වැරදි වැඩේ කියලා.

කොහොම වුණත් වාහන තියා නම වත් පාවිච්චි කරන්න නොදුන් දේශපාලකයොත් හිටියා. *ශිෂ්ඨ සම්පන්න වෙනත් ඕනෑම රටක ජනාධිපති ලේකම් අස් වෙලා.*
පවුලේ හවුලේ කන ශ්‍රී ලාංකීය පුනරුදයට ජය!

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *