විශේෂඥ වෛද්‍යවරු රට හැර නොයෑමේ ප්‍රවණතාවක් ඇති වෙලා…! – ඇමති නලින්ද ජයතිස්ස….

July 23, 2025 at 7:15 pm | by emanisa.lk

විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරු රට හැර නොයා මෙරට රැඳී සිටීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවලින් ජනතාවට ලබාදෙන සේවාවන් පිළිබද සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවකට එකතු වෙමින් මේ බව කීය.

මෙහි දී අමාත්‍යවරයා කියා සිටියේ විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන සමහර විශේෂඥ වෛද්‍යවරුන් පළමු පත්වීම උතුර නැගෙනහිර වැනි දුර බැහැර ප්‍රදේශවලට ලබාදුන් පසු නැවැත විදෙස්ගත වන බවයි. ආණ්ඩුව ‍බාර ගන්නා අවස්ථාවේ සියයට 70 ක් පමණ වූ එම තත්ත්වය මේ වන විට අඩුවීමක් පෙන්නුම් කරන බවත්, විදෙස්ගත නොවී මෙරට නතර වීම සියයට 60 –70 දක්වා අගයක් ගන්නා බවත් එය සුබදායි ප්‍රවණතාවක් බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරයි.

විශේෂඥ වෛද්‍ය හිඟයක් පවතින මෙරට විශේෂඥ වෛද්‍යවරු සිටිනුයේ 2000 ක පමණ පිරිසක් බැවින් විශේෂඥ පුහුණුවට විදෙස්ගතව සිටින සියලු විශේෂඥ වෛද්‍යවරු මෙරටට පැමිණ දුරබැහැර ප්‍රදේශවල තිබෙන රෝහල්වල පවා සේවය කරනු ඇති බවට තමන් විශ්වාසය පළ කරන බවත්, අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙමින් එම විශේෂඥ වෛද්‍යවරුන් මෙරට රඳවා ගැනීම සඳහා රජය සුදානම් බවත් හෙතෙම අවධාරණය කරයි.

මෙරට විශේෂඥ වෛද්‍ය ගැටලුව කඩිනමින් විසඳිය හැකි වනු ඇති බව ද ඇමති නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *