අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුට පොදු සමාව ලබා දීමේ දී බන්ධනාගාර නිලධාරීන් අතින් කිසිදු වරදක් සිදුව නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.
අදාළ පුද්ගලයා සිරගතව ඇත්තේ දඩය ගෙවාගත නොහැකිව බවත් දඩ ගෙවාගත නොහැකි සිරකරුවන්ට හිමි ජනාධිපති සමාව යටතේ ඔහු නිදහස්ව ඇති බවත් ගම්මන්පිල පෙන්වා දෙයි.
තවත් නඩු ගණනාවක් යටතේ මෙම පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබූ නිසා ඔහු වෙසක් පොහෝ දින නිදහස් නොවූ අතර අනතුරුව එම නඩුවලින් ඇප ලැබීම නිසා පෙර සඳහන් කළ පොදු සමාව ක්‍රියාත්මක වී නිදහස ලැබී තිබේ.
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය දේශපාලකයන්ට කඩේ නොයන ඍජු නිලධාරියකු නිසා ඔහු එම ධුරයෙන් නෙරපා සිය හෙංචයියකු අදාළ ධුරයට ගෙන ඒමට ආණ්ඩුව මෙය අවස්ථාවක් කරගෙන ඇති බවට ද උදය ගම්මන්පිල චෝදනා කරයි.
තුෂාර උපුල්දෙණිය ශ්‍රේෂ්ඨාධීකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ හොත් ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට තීන්දුව ගත් අමාත්‍ය මණ්ඩලයම අමාරුවේ වැටෙන බවටද ඔහු අනතුරු අඟවයි.
ඊයේ (11) මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.