නිළි රැජින මාලනී ෆොන්සේකා ජීවිත සිනමාවට සමුදෙයි….!

May 24, 2025 at 9:24 am | by emanisa.lk

සිංහල සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද අලුයම අභාවප්‍රාප්ත වූ අතර ඇය මිය යන විට ඇය 78 වන වියෙහි පසුවූවාය.

1947 අප්‍රේල් මස 30 වන දා කැලණියේ දී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් උපත ලැබූ ඇය පසු කාලීනව මාලනී ෆොන්සේකා නමින් කලා ලෝකයට පිවිසියාය.

1963 වසරේ දී වේදිකා නාට්‍ය හරහා රංගන ලෝකයට පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය, 1968 වසරේ දී පුංචි බාබා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියාය.

1973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ඈ හොඳම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, ඕ.සී.අයි.සී, සුමති වැනි සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.

නිධානය, බඹරු ඇවිත්, වෑකන්ද වලව්ව, ආරාධනා, අම්මාවරුනේ වැනි විත්‍රපට මාලනී ෆොන්සේකා මහත්මියගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ට නිර්මාණ ලෙස සනිටුහන් වේ.

2010 වසරේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස දේශපාලනයට පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය 2015 වසර වන පාර්ලිමේන්තුව නියෝජනය කළාය. සිංහල සිනමාවට සුවිශාල සේවයක් කළ මාලනි ෆොන්සේකා කලාකාරිනයට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *