සුපිරි රථ වෙන්දේසියෙන් රජයට මිලියන 200ක ආදායමක්…!

May 15, 2025 at 6:55 pm | by emanisa.lk

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන අලෙවි කිරීමේ දෙවෙනි අදියර යටතේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන අලෙවි කිරීමට අදාළ වෙන්දේසිය අද (15) සාර්ථකව අවසන් විය.

එහි දී හිටපු මැති ඇමැතිවරුන් හා හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (01) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු වාහන 26ක් එලෙස වෙන්දේසි කර තිබූ අතර ඉන් 17ක් අද දින අලෙවි වී ඇත.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙලෙස ජනාධිපති කාර්යාලය සතු වාහන විකිණීමට රජය තීරණය කර තිබිණි.

අද පැවති වෙන්දේසියේ දි වාහන අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 200ක් ඉක්මවූ මුදලක් රජය උපයා ගෙන ඇති බව වාර්තා වෙයි. මෙම අවස්ථාවට ව්‍යාපාරිකයෝ 108 දෙනෙකු පමණ එක්ව සිට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *