පළාත් සභා පිහිටුවීමේ දී අපට බාධා කළොත් අපිත් බාධා කරනවා…! – ටිල්වින් සිල්වා….

May 13, 2025 at 11:09 am | by emanisa.lk

ජාතික ජන බලවේගය දිනා ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට විපක්ෂය බාධා කරන්නේ නම් තමන්ට ද ඊට ප්‍රතිචාර දැක්වීමට සිදුවනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

එම නිසා එම සභාවල බලය පිහිටුවීමට බාධා නොකරන ලෙස තමා ඉල්ලා සිටින බවයි, ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ.

පළාත් පාලන මැතිවරණයෙන් පසු කවුරු කුමක් කිව්ව ද මෙම මැතිවරණයේ වැඩි ම ජයක් ලබා ගත්තේ ජාතික ජනබලවේගය බවත් ඒ අනුව පළාත් සභා 267ක් දිනා ඇති අතර 120 ක් කිසිදු ගැටලුවකින් තොරව බලය පිහිටුවිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව, 32ක් ආණ්ඩුව හා විපක්ෂය දෙපාර්ශවයම සමානව සභිකයින් තේරී පත්ව ඇති අතර එම සමාන තැන් වලද බාධාවකින් තොරව සභා පිහිටුවිය හැකි බව ත් සමගි ජනබලවේගයට සභා 14 ක් තිබුණද ඉන් 13 කම තනිව සභා පිහිටුවිය නොහැකි බව ත් ඔහු කීය.

ඔහු පැවසුවේ, ආණ්ඩුවට අවම සභා එකක් දෙකක් පිහිටුවිය නොහැකි තැන්වලද බලය පිහිටුවීමට අවශ්‍ය සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව ත් කොළඹ ඇතුළු රට පුරා සභා බහුතරය ම පිහිටුවිය හැක්කේ ඒ අනුව ආණ්ඩුවට බව ත් ය.

කොළඹ මහනගර සභාවේ බහුතරය ලබා ගැනීමට ආණ්ඩුවට අඩු වී ඇත්තේ සභිකයින් 11 දෙනෙකු වන අතර ස්වාධීන කණ්ඩායම් හා අනෙක් අය සමග ඒ ගැන සාකච්ඡා කර ඇති බව ද ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

කෑලි කෑලි එකතු කර සභා පිහිටුවීම සදාචාර නොවන බවත් ඒ අනුව සභා පිහිටුවීමේදී විපක්ෂය බාධා නොකර සිටින ලෙස තමා ඉල්ලා සිටින බවත් ටිල්වින් සිල්වා කීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, එදා වෙන් වෙන් ව තරග කර අද සභා පිහිටුවීමට කටයුතු කරන්නේ නම් එය සදාචාර සම්පන්න නොවන බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *