සෝලා විදුලිය ජනතාවට එපා කරවන කුමන්ත්‍රණයක්… 2030 රට කබලෙන් ළිපට…!

April 27, 2025 at 10:34 am | by emanisa.lk

වහලය මත සවිකෙරෙන සූර්ය පැනල නව ව්‍යාපෘතී විශාල සංඛ්‍යාවකට අනුමැතිය ලබා දීම විදුලිබල මණ්ඩලය ඇතුළු අංශ විසින් හිතා‍මතා ප්‍රමාද කිරීම නිසා මේ වන විට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි වාණිජ මණ්ඩලයේ උප සභාපති ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු පවසයි.

බලශක්ති විශේෂඥයෝ චෝදනා කරන්නේ, මෙය පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අධෛර්යවත් කිරීමේ බලශක්ති මාෆියාවේ තවත් උපක්‍රමයක් විය හැකි බවටයි.

ලක්මාල් ප්‍රනාන්දු පැවසූවේ, මෙලෙස මෙම ව්‍යාපෘති ප්‍රමාද කිරීමෙන් සූර්ය පැනල සඳහා තිබෙන උනන්දුව ක්‍රමයෙන් අඩු කරලීම බලශක්ති මාෆියාවේ මූලික අරමුණ විය හැකි බවයි.

පියසි මත සූර්ය පැනල සවිකර දැනුම් දී දින කිහිපයක් ඇතුළත විදුලිබල මණ්ඩලය විසින් එය ජාලගත කිරීම් පෙරදී සිදුකළත් මේ වන විට එලෙස අලුතින් සවිකර ඇති පැනල මාසයකට අධික කාලයක් ගතවූ පසුත් මණ්ඩලය විසින් ජාලගත කිරීම් නොකිරීමෙන් එම නිවෙස් හිමියන් මෙන්ම ප්‍රවර්ධකයන් විශාල අසීරුතාවකට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.

වහලය මත සවිකෙරෙන සූර්ය පැනල ව්‍යාපෘති අධෛර්යවත් කිරීමට මීට මාස කිහිපයකට පෙර වෙනත් අයුරකින් කටයුතු කළ බව ද වර්තමානයේ නව ක්‍රමය එය අධෛර්යව‍ත් කිරීමට ගන්නා තවත් උත්සාහයක් විය හැකි බව ද ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

මේ තත්ත්වය තුළ පුනර්ජනනීය බලශක්තියෙන් 2030 වසරේ මෙගාවොට් 6,000ක් නිෂ්පාදනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීම දුෂ්කර වනු ඇතැයිද පැවැසූ ඔහු එමඟින් ‘පැරිස් සම්මුතියට’ද බලපෑමක් ඇති විය හැකි බවත් කියා සිටියි.

තවද, පැරිස් සම්මුතියට අනුව ශ්‍රී ලංකාව 2030 වන විට සම්පූර්ණ විදුලිබල අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගතයුතු බව ත් එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වුවහොත් අන්තර්ජාතික වශයෙන් ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ හා සේවා සඳහා දැඩි බදු ප්‍රතිපත්තියකට යටත් වීමට වුවද හැකි බව ද ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු වැඩි දුරටත් සඳහන් කරයි.

තව දුරටත් ලක්මාල් ප්‍රනාන්දු චෝදනා කර සිටියේ, සූර්ය පැනල මගින් නිෂ්පාදනය වන විදුලිය ගබඩා කිරීමේ බැටරි හඳුන්වා දී සමතුලිතතාව පවත්වාගෙන යෑමට පියවර ගතයුතු බවට මෙයට වසර 5-6කට පෙර සිට ම සැලසුම් කළත් ඒ සඳහා ක්‍රියාකාරි සැලැස්මක් නොතිබීමෙන් මේ වන විට පද්ධතිය පාලනය කිරීමට නොහැකි වූ විට සූර්ය පැනල කපා දැමීමට මණ්ඩලය පියවර ගන්නා බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *