ඇමරිකානු නව බදු තීන්දුවට රටම එකතු වී විශේෂඥ කමිටුවක් ඔස්සේ ප්‍රතිචාර දක්වමු…! – දිලිත් ජයවීර….

April 11, 2025 at 12:46 pm | by emanisa.lk

ඇමරිකාව පැනවූ නව බදු අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත කෙරෙහි ඍජුව සහ වක්‍රව බලපෑම් එල්ල කරන බවත් එය මහත් ආයාසයෙන් නැවත ගොඩනැඟූ ආර්ථිකය බිඳ වැටීමට වුව හේතුවක් විය හැකි බවත් සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ඊයේ (10) පැවති පක්ෂ නායක හමුවෙන් අනතුරුව සිය නිල ෆේස්බුක් ගිණුමේ පහත දැක්වෙන සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කරයි.

“ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව බදු නියෝග පිළිබඳ ලංකාවේ ප්‍රතිචාරය සාකච්ඡා කිරීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැඳවන ලෙසට අප කළ ඉල්ලීමට සාධනීයව ප්‍රතිචාර දැක්වීම ගැන පළමුවෙන්ම අප ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාට ස්තූති වන්ත වනවා.

පසුබිම ඇමෙරිකාව පැනවූ මේ නව බදු පිළිබඳ කල්තබාම ගෝලීය වශයෙන් සංවාදයක මෙන්ම අනතුරු ඇගවීම් සිදුව තිබුණත් ශ්‍රී ලංකාව ඒ ගැන මුලුමණින්ම නොදැනුවත්ව සිටි බව පෙනෙනවා. කනගාටුදායක කාරණය තමයි නුදුරේදීම වීමට තිබූ මේ අනතුර ගැන ශ්‍රී ලංකා ආණ්ඩුව සූදානමින් නොසිටීම. එවැනි පසුබිමක වුවත්, දැන්වත් අප ඉතා ඉක්මණින් හා තීරණාත්මක ලෙස ඊට ප්‍රතිචාර දැක්වීම කළ යුතු වෙනවා.

ඇමරිකාව පැනවූ මේ නව බදු හුදෙක් විදේශ රටක ප්‍රතිත්තිමය කාරණයක්, වෙනසක් පමණක් නොවෙයි. මේ තීරණය අපේ පුරවැසියන් (ලක්ෂ සංඛ්‍යාත) පිරිසකගේ ජීවිත සම්බන්ධයෙන් ඍජුව හා වක්‍රව බලපෑම් ඇති කරනවා. විශේෂයෙන් අපේ ඇඟළුම් කර්මාන්තය හා අපනයන කර්මාන්ත සම්බන්ධයෙන් එය බලපානවා. අපේ ජනතාවගේ දරුගැනීමේ ශක්තිය හේතුවෙන් මෙන්ම අන්තර්ජාතික පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් අප අසීරුවෙන් යථා තත්ත්වයට පත් කරගත් ආර්ථිකය යළි බිඳවැටීමට තරම් ඒ බලපෑම් හේතු වෙනවා. ඒක අන්තරාදායක තත්ත්වයක්. මේ බදු ක්‍රියාත්මකවීමට නියමිතව තිබුණේ ඊයේ. අප්‍රේල් 9 වැනිදා පටන් වුවත්, මේ වනවිට මාස 3 ක (දින 90) කාලසීමාවක් සඳහා එය අත්හිටුවීමට ජනාධිපති ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. එය අප අගය කළ යුතුයි.

මේ බදු සම්බන්ධයෙන් පුළුල්ව ඇතිවූ බලපෑම් ඊට හේතුවන්නට ඇති. ශ්‍රී ලංකා ජනතාවගේ නියෝජිතයන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාගත් මෙන්ම පක්ෂ නායකයන්ද වන අප සැම මේ අවස්ථාවේ අපේ රටට වඩාත් වාසිදායක ප්‍රතිඵලයක් ලබාගැනීම සහතික කිරීම වෙනුවෙන් සාමූහිකව හා එක්සත්ව ක්‍රියා කළ යුතුව තිබෙනවා. මේ තීරණාත්මක සන්ධිස්ථානයේදී විවිධ කාරණා සම්බන්ධයෙන් අප අතර ඇති වෙනස්කම් පසෙකින් තබා දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් අප සාමූහිකව ක්‍රියා කළ යුතුයි. උද්ගතවී ඇති තත්ත්වයයේ බරපතල බව විසින්ම මෙහිදී එවැනි සාමූහික ප්‍රතිචාරයක අවශ්‍යතාව අපෙන් ඉල්ලා සිටිනවා. මේ තත්ත්වය යටතේ මෙන්ම රටක් වශයෙන් අප මුහුණ දෙන අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික මෙන්ම රාජ්‍යතාන්ත්‍රික ස්ථාවරත්වය වෙනුවෙන් එය අත්‍යාවශ්‍යයි.

යෝජිත යාන්ත්‍රණය මේ සන්ධිස්ථානයේදී ශ්‍රී ලංකාව අමෙරිකාව සමග ක්‍රියාකළ යුතු වන්නේ ඒ පිළිබඳ මනා තක්සේරුවකින් මෙන්ම යථාර්ථවාදීව හා අන්‍යෝන්‍ය වශයෙන්ද සාමූහික හඬකින්ද යුතුවයි. එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාවේ අභිලාෂයන් සුරක්ෂිත කරන්නා වූ ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙළ කිරීම සඳහා තම අදහස් හා දායකත්වය එක් කිරීම වැදගත් වනු ඇතිය යන්න අපගේ අදහසයි. එහිදී මෙය වඩාත් තිරණාත්මක ලෙස බලපාන්නා වූ කර්මාන්ත හා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අප විශේෂ අවධානය යොමු කර ඒවා රැකගැනීමට ක්‍රියා කළ යුතු වෙනවා. එවැනි එක් ක්ෂේත්‍රයක් වන ඇඟළුම් කර්මාන්තයේ අපේ අඩු ආදායම්ලාභී පවුල්වල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සේවය කරනවා. ඒ නිසා මෙය නිවැරදිව කළමනාකරණය කර ගැනීමට අප අසමත් වුවහොත් සමාජ ආර්ථික අර්බුදයක් දක්වා මෙය ගමන් කළ හැකියි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය දැක්වීමේදී අප අදහස් කරන්නේ, බහුවිධ වශයෙන් ශික්ෂණයක් සහිතව සම්මුතිකාමී කණ්ඩායමක් නිර්මාණය කරමින් අප ඊට මුහුණ දිය යුතු බවයි. ඒ සමූහය ව්‍යවසායකයන්, කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා විශේෂඥයන්ගෙන් සමන්විත විය යුතු වෙනවා. ආර්ථික මූල්‍යමය හා දේශපාලනික උපායමාර්ගිකත්වය පිළිබඳ අවබෝධයකින්ද යුතුව ඊට ප්‍රවේශවීම මෙහිදී අපෙන් විය යුතුව තිබෙනවා.

නිවැරදි දැක්මක් මෙය හුදෙක් අභියෝගයක් ලෙස පමණක් බාර නොගනිමින් ගෝලීය වේදිකාවේ රටක් ලෙස අපගේ ස්ථාවරය ශක්ති සම්පන්නව ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ලෙසද මෙය දකිමින් අප ක්‍රියා කළ යුතුයි. රාජ්‍යයට බලපාන්නා වූ තීරණාත්මක කාරණා සම්බන්ධයෙන් අප සැමවිටම සාමූහිකව හඬ නැගීමයි වැදගත්.

යෝජිත නව බදු සම්බන්ධයෙන් සලකන විට ඒ නිසා විය හැකි මානුෂීය බලපෑම් විශේෂයෙන් දකුණු ආසියාතික රාජ්‍යයන් සම්බන්ධයෙන් ඉතා විශාල වනු ඇති බව අපට අවධාරණය කළ හැකියි. ඒ නිසා ශ්‍රීි ලංකාවේ අභිලාෂයන් මෙන්ම ගෝලීය සාර්ථකත්වය පිළිබඳ මෙහිදී අපට හඬ නැගීමේ හැකියාව තිබෙනවා.

මෙකී ප්‍රවේශය හුදෙක්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ යහපැවැත්ම වෙනුවෙන් පමණක්ම නොව ජාත්‍යනතර වෙළෙඳාමේ හවුල්කරුවන් ලෙස ඉදිරිගාමී චින්තනයකින් යුතු ප්‍රවේශයක්ද වනු ඇත යන්න අපගේ අදහසයි. අපගේ කේවල් කිරීමේ උපායමාර්ගයන්හිදී එම පරිශ්‍රමයන් වඩා අප ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ සාමූහිකව මෙය සමථයකට ගෙන ඒමයි. අනෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ අත්වන තුලනාත්මක විසඳුමක් වනු ඇත්තේ එයයි.

ආර්ථික ස්ථාවරත්වය හා IMF වැඩපිළිවෙල ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමේදී ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ දුර්වල ස්ථානයකයි. ඉතිහාසයේ අප මුහුණදුන් අයහත් අර්බුදයකට පසුව ණය කන්දරාවක් ද සමග ව්‍යුහාත්මක වශයෙන් ද තවමත් අන්තරාදායක තැනකයි. විදේශීය ණය තිරසරභාවය ගැන තවමත් අප අවධානයෙන් කටයුතු කළ යුතුයි. එසේ තිබියදී අමෙරිකාවේ හදිසි බදු පැනවීම අප අසීරුවෙන් ළඟාකරගත් ප්‍රගතියට දැඩි අන්තරායක් බව පැහැදිළියි. එය අපගේ ණය අර්බුදය තවදුරටත් ගැඹුරු කිරීමට හා IMF හඳුන්වා දුන් වැඩපිළිවෙල අර්බුදයට යාහැකි තත්ත්වයක් බව පැහැදිළියි.

ඒ නිසා මේ අභියෝගයට මුහුණ දීමේදී අප IMF මඟපෙන්වීම හා ප්‍රවීණත්වය ගැන සැලකිලිමත්වීමත් වැදගත්. එම එකඟතාවන් කෙරෙහිද අවධානය යොමු කරමින් අප යෝජනා කරන්නේ මෙම නව හදිසි බදු සම්බන්ධයෙන් අපගේ ප්‍රතිචාරය උපායමාර්ගික මෙන්ම ජාත්‍යන්තර සහයෝගිතාව හා ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ දැනුවත්භාවයකින් යුතුව පළ කළ යුතු බවයි.

සාකච්ඡා කළ යුතු වැදගත් කරුණු ‘එක ශ්‍රී ලංකාවක්’ ලෙස අපගේ ප්‍රතිචාරය දැක්වීමේදී අප විසින් මෙහිදී ගැඹුරින් සාකාච්ඡා කළ යුතු වැදගත් කාරණා කිහිපයක් පෙන්වාදීමට මම කැමැතියි.

ශ්‍රී ලංකාවට මෙන්ම අමෙරිකාවටද අන්‍යෝන්‍ය වෙළෙඳාමේ ප්‍රතිලාභ අත්වන අන්දමින් නව අන්‍යෝන්‍ය බදු නිවැරදි කරගැනීම හෝ සංශෝධනය කරගැනීම සඳහා අප හමුවේ ඇති මාර්ග මොනවාද?

යෝජිත බදු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන කමිටුවට පත් කළ යුතු නියෝජියන් කවුරුන්ද? එම කමිටුවේ ප්‍රවීණත්වය හා සුදුසුකම් මොනවාද? ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා රාජ්‍යතාන්ත්‍රික අභිලාෂ නියෝජනය කිරීමට ඇති ශක්‍යතාව කෙබඳුද?

මේ පිළිබඳ සාකච්ඡා කිරිමේදී ශ්‍රී ලංකාව මතු කළ යුතු මූලික ප්‍රශ්න මොනවාද? අපගේ ප්‍රධාන පෙළේ කර්මාන්තවලට එය අයහපත් අන්දමින් බලපාන අයුරු මෙන්ම ඒවායේ සුරක්ෂිතතාව තහවුරු කළ යුතුවන්නේ කෙසේද යන්න සනාථ කරන්නේ කෙසේද? ගෝලීය වෙළෙඳාමේ වෙනස්කම්/ගතිකයන් ගැන සංවේදී වීම.

මෙකී අභියෝගයන්ට එරෙහිව ශ්‍රී ලංකාව ගාමක බලය යෙදිමේදී එය රටක් ලෙස අපගේ ගෝලීය ප්‍රතිරූපය ශක්තිමත් කර ගැනීමට මෙහෙයවා ගන්නේ කෙසේද? ආසන්නතම බදු පිළිබඳ කාරණයට පමණක් සීමා නොවෙමින් ගෝලීය ආර්ථිකය පිළිබඳ ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්ථාවරය වර්ධනය වන අයුරින් ක්‍රියා කිරීම.

නව බදු පිළිබඳ හඬ නැගීමේදී එය බලපාන්නා වූ සෙසු රටවල්ද සමග එක්ව සාමූහිකව බලවේගයක් ලෙස ක්‍රියාකිරීම අවශ්‍යවන්නේද? ගෝලීය වෙළෙඳාමේ අසමතුලිතතාව කෙරෙහි අවධානය යොමු කිරීමේදී එලෙස ගොඩනගාගත හැකි සහයෝගිතාව හා සන්ධානය කුමක්ද?

‘එක් ශ්‍රී ලංකාවක්’ මෙම බදු හමුවේ ශ්‍රී ලංකාවේ පැවැත්ම ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් පමණක්ම නොව වඩා ශක්තිමත් තෝරාගැනීමේ හැකියාවන් ඉහළ හා උපායමාර්ගිකව වඩාත් හොඳින් ශක්තිමත් රාජ්‍යයක් ලෙස ගෝලීය ආර්ථිකයන් සමග ඉදිරියට යාමේදී මේ මතු කළ කාරණා වැදගත් වනු ඇතැයි අප සිතනවා. අද මේ සාකච්ඡාව අවසානයේදී ශ්‍රී ලංකාවේ එක්සත් ස්ථාවරය ගෝලීය ප්‍රජාවට දැනුම් දෙමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දීමට කැමතියි.

එය ආක්‍රමණශීලී ප්‍රකාශයක් නොව සහකම්පනයෙන් යුතු, සාධාරණ මෙන්ම සුපැහැදිලි ප්‍රකාශයක් විය යුතු බව අපගේ අදහසයි. අඩුම තරමින් මෙවැනි අසීරු අවස්ථාවලදී හෝ එක්ව නැගී සිටිමින් ක්‍රියා කිරීමට මේ අපට අවස්ථාවයි. එලෙස අප නැගී සිටිය යුතුවන්නේ බෙදී වෙන්වී ගිය කණ්ඩායමක් ලෙස නොව එක් ජාතියක් ලෙසයි. ජාතික අභිලාෂය පිළිබඳ සියලු කාරණාවලදී එක් ශ්‍රී ලංකාවක් වශයෙන් ක්‍රියාත්මක වීමට මෙය ආරම්භයක් කර ගනිමු යැයි මා ඔබ සැමට ආයාචනා කරනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස