වත්මන් ආණ්ඩුව බලයට පත් වී මාස පහමාරක් වන විට රුපියල් බිලියන 5,156 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පිවිතුර හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.
“අපේ රට ආර්ථික අර්බුදයක හිර වුණේ ගත්තු ණය ගෙවා ගන්න බැරි වීමෙන් කියන එක කවුරුත් දන්නා කරුණක්. එහෙම නම් මෙවර අයවැය කතාව ඉදිරිපත් කරන විට මාලිමා ආණ්ඩුව ණය කෙතරම් ගත්තා ද කියන එක ජනාධිපතිතුමා විසින් රටට හෙලි කරාවි කියලා අපි බලාපොරොත්තු වුණා. නමුත් අවාසනාවට අයවැය කතාවේ එහෙම දෙයක් කිව්වේ නෑ. ඒ නිසා මාලිමා ආණ්ඩුව මොනවා නැතත් ණය ගැනීම නම් ඉහළින්ම කරලා තිබෙන බව රටට හෙළි කිරීම අපේ යුතුකමක්.
2025 මාර්තු 5 වන දා වන විට ඒ කියන්නේ ආණ්ඩුව පත් වෙලා මාස පහමාරක් වන විට ආණ්ඩුව ලබා ගත්තු ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,156ක්. කෝටි වලින් කිව්වොත් රුපියල් කෝටියේ ඒවා 515,600ක්. 2024 වසරේ ආණ්ඩුව රැස් කරපු ආදායම රුපියල් බිලියන 4,000යි. ඒත් මාස පහමාරකට ණය විතරක් අරන් තිබෙනවා රුපියල් බිලියන 5,156ක්.
මේ ණයවලින් රුපියල් බිලියන 3,775ක් ලබා ගෙන තිබෙන්නේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන්. තවත් රුපියල් බිලියන 1,063ක් ලබා ගෙන තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන්. ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 1,084ක් හෙවත් රුපියල් බිලියන 318ක් ණය අරගෙන තිබෙනවා.
මීට අමතරව ආණ්ඩුව ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණය අයිරා පහසුකම් ලබාගෙන තිබෙන්න පුළුවන්. ඒ පිළිබඳ තොරතුරු සොයා ගන්න නෑ. ඒ වගේම මේ ණයවලින් සැලකිය යුතු කොටසක් මීට කලින් නිකුත් කරපු භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවලට ගෙවීම් කරන්න යොදා ගන්න ඇති. ඒවා අපි දන්නේ නෑ. මේ සල්ලිවලට මොකද කළේ කියන එක රටට කියන එක ආණ්ඩුවේ වගකීමක්.”
උදය ගම්මන්පිල මේ බව සඳහන් කළේ අද (10) පිවිතුර හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.