2025 සඳහා වන අයවැය යෝජනාව තුළින් හෙද සේවාවන්හි වැටුප් රුපියල් 6,500 සිට 11,500 ක් දක්වා අහිමිවීමේ තත්ත්වයක් ඇතිවී තිබෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමය විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
2025 අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙබරවාරි 17 දින ප්‍රකාශයට පත් කළ අතර හෙද සේවයට එහිදී බරපතල අසාධාරණයක් සිදු වී ඇත. මේ වන තෙක් හෙද සේවාවට ගෙවනු ලැබූ අතිකාල අනුපාතිකය එනම් පැයට ගෙවන මුදල මාසික වැටුපෙන් 1/160 ට 1/200 දක්වා පහළ දමා ඇත.
හෙද හිඟය හේතුවෙන් හෙද නිලධාරීන් 3 දෙනකු විසින් කළ යුතු කාර්යයන් එක් හෙද නිළධාරියකු විසින් සිදු කරන තත්ත්වයක් තුළ පැය 24 ක අඛණ්ඩ සේවාවන් සපයන හෙද සේවාවේ අතිකාල ගෙවීම අනුපාතය පහළ දැමීම නිසා ආරම්භක ශ්‍රේණියේ හෙද නිළධාරියෙකු හට මසකට රු. 6500 ක් පමණ අහිමි වේ. ශ්‍රේණීන්වල ඉහළට යාමේදී මෙම කප්පාදුව තවත් වැඩි වන අතර විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරියකුගේ (Matron) අහිමි වන මුදල රු. 11,500ක් පමණ වේ.
එසේම රජයේ නිවාඩු දිනයක වැඩ කිරීම වෙනුවෙන් ගෙවන මුදල මාසික වැටුපෙන් 1/20 සිට 1/30 දක්වා අඩුකර ඇත. හෙද සේවාව යනු පැය 24 ම රාජකාරිය සිදු කරමින් අවුරුද්ද පුරාම අඛණ්ඩ සේවයක් සැපයිය යුතු සේවාවක් වේ. අනෙකුත් රාජ්‍ය සේවකයන් බහුතරයක් නිවාඩු ලබාගන්නා රජයේ නිවාඩු දින, ඉරිදා දිනයන් හිදීද හෙද නිළධාරීන් සේවාවේ නිරත වේ. ඒ වෙනුවෙන් හෙද නිලධාරීන්ට මේ වන විට මූලික වැටුපෙන් 1/20 ක් ගෙවනු ලබන අතර පසුගිය දා ඉදිරිපත් කළ අයවැයෙන් එය 1/30 දක්වා අඩුකර ඇත.එම කප්පාදුව තුළ රජයේ නිවාඩු දිනවල හා ඉරිදා දින වල සේවය කරන හෙද නිලධාරියෙකුට අහිමි වන මුදල රු. 6000 ක් පමණ වේ.
තවද මෙවර අයවැයෙන් හෙද නිලධාරීන් සඳහා අසාධාරණ උපස්විම් ක්‍රම වේදයක් හඳුන්වා දී ඇත.
මේ වන විට පළමු උසස්විම් වසර 05 න් ක්‍රියාත්මක වන අතර එය අයවැය යෝජනා තුළින් වසර 10 දක්වා දීර්ඝ ඇත. දෙවන උසස්වීම වසර 7 න් ලබාදුන් අතර එය වසර 11 දක්වා දීර්ඝ කර ඇත. එසේම මුල් පත්වීමේ සිට වසර 22 න් ලබාදුන් අධිශ්‍රේණිය වසර 31 දක්වා දීර්ඝ කර ඇත.
ඉහත සියලු කාරණා නිසා මෙම අයවැය යෝජනා 2025/04/01 ක්‍රියාත්මක වීම ආරම්භ කිරීමෙන් පසු අතිකාල / නිවාඩු දින දිමනා අසාධාරණය හේතුවෙන් එක් හෙද නිළධාරියෙකු හට ශ්‍රේණිවලට අදාළව රු. 12,500 සිට රු. 20,000 දක්වා මුදල්මය අවාසියක් වාර්ෂිකව සිදුවේ.
එබැවින් මෙම කරුණු පිළිබඳ හෙද සේවාවේ බලවත් අවධානය යොමුව ඇති අතර එම යෝජනා ඉදිරි අයවැය කියවීම් වලදී සංශෝධනය කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙයි.