හොරකම, දුෂණය, වංචාව නැති කරන බව පවසා බලයට පැමිණි ආණ්ඩුව රේගුවේ බහලුම් 323 ක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමෙන් රාජ්‍ය ආදායමට විශාල පාඩුවක් සිදු කර ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.
එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. අතර එහිදී ඔහු මෙසේද කියා සිටියේය.
“ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලේ ජනතාව ගෑස් සිලින්ඩර් ගන්න දවස් ගණන් පොලිම්වල හිටියා. පෝලිමේ සිටින මොහොතක ගෑස් ලොරියක් පැමිණියහම ජනතාවට දැනුනේ පුදුම සතුටක්. ඒ වගේම තමයි මේ වන විට හාල් පෝලිමක් රට තුළ නිර්මාණය වෙලා තිබෙනවා. හාල් පෝලිමක් තිබෙන මොහොතක හාල් ලොරියක් ආවහම හාල් පෝලිමේ ඉන්න මිනිස්සුන්ට දැනෙන්නෙත් පුදුම සතුටක්.
දූෂණයට වංචාවට එරෙහිව කතා කළ ආණ්ඩුව රේගුවේ බහලුම් 323 ක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කරලා තිබෙනවා. මේ බහලුම් නිදහස් කිරීමෙන් රටේ රාජ්‍ය ආදායමට විශාල පාඩුවක් සිදුවෙලා තිබෙනවා. ඒ වගේම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා තිබෙනවා කියලා රේගු වෘත්තිය සමිතිය කියනවා.
මේ බහලුම්වල තිබෙන්නේ මොනවාද කියන දේ පිළිබඳව දැඩි ප්‍රශ්නයක් ඇති වි තිබෙනවා. හොරකම දූෂණය වංචාව නැති කරන්න පැමිණි ආණ්ඩුව මෙවැනි වංචා දූෂණවලට ඉඩ ලබාදෙන්නේ කෙසේද කියන ප්රශ්නය මතුවෙනවා. කෙසේ නමුත් මෙවැනි කටයුතුවලින් පෙනී යන්නේ වර්තමාන ආණ්ඩුව අද ෆේල් වෙමින් පවතන බවයි.”