වී සඳහා සහතික මිලක් වහාම පනවන්නැයි ආණ්ඩුවට බල කරන අතර එය ප්‍රමාද කරන දිනයක් පාසා එහි වාසිය මෝල් හිමියන් අතට පත්වනු ඇතැයි ජාතික ගොවි ව්‍යාපාරයේ සංවිධායක කරුණාතිලක හේරත් පවසයි.
රටේ ගොවි ජනතාවගෙ ප්‍රශ්න විසඳමින් පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට හාල් මිලදී ගන්න අවස්ථාව සලසන්නැයි ද හෙතම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
“අලුත් ආණ්ඩුව හැදිලා ගෙවී යන පළමු මාස කීපය තමයි මේ ගෙවී යන්නෙ. මේ ආණ්ඩුව බලයට පත්වෙන්න පෙර ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳනවා කියලා පොරොන්දු රාශියක් දුන්නා. පෙර ආණ්ඩු වගේම මේ ආණ්ඩුවත් ගොවි ජනතාවට තනිකර බොරුව කරන්නෙ. ඇති තරම් කයිවාරු ගහනවා. සැලැස්මක්, ප්‍රතිපත්තියක් හෝ වැඩපිළිවෙලක් මේ ආණ්ඩුවේ පේන්න නැහැ.
මේ නිසා තමන්ගෙ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටපු ගොවි ජනතාව පීඩාවට පත්වෙලා. අපි දකිනවා ජනාධිපතිවරයාගේ ඉඳන් ඇමතිවරු, නි.ඇමතිවරු, මන්ත්‍රීවරු එක එක නොගැලපෙන කතා කියනවා. මේ කිසි එකකින් අපේ රටේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ.
මේ ආසන්න දවස් කිහිපය තුළ 2024 මහ කන්නයේ අස්වන්න නෙලන්න පටන්ගෙන තියෙන්නෙ. අම්පාර, මඩකළපුව, මොනරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අස්වැන්න නෙලන්න පටන්ගෙන තියෙන්නෙ. මීට පෙර පැවැති හැම රජයක් යටතේම තිබුණ ගැටලුව තමයි ඔවුන්ට සාධාරණ මිලක් නොලැබෙන ප්රශ්නය. අදත් කූට ව්‍යාපාරිකයන්ට මේ ගොවි ජනතාවගේ ප්‍රශ්න කොල්ල කන්න පුළුවන් වෙලා තියෙනවා.
මේ මොහොතෙත් අම්පාරේ තියෙන්නෙ එක මිලක්, මොනරාගල තව මිලක්, හම්බන්තොට තව මිලක් එතකොට කිසිම මිල සමානකමක් නැතිව ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදන පිරිවැයවත් සපුරාගන්න බැරි තැනට පත්වෙලා තියෙනවා. ආණ්ඩුව බැරිකම වහගන්න කතා කියනවා. මේ ආණ්ඩුවෙත් කතාව දෝලාවෙන් ගමන පයින්. එක පැත්තකින් වී අස්වනු සඳහා සහතික මිලක් නියම කරන්න ඕනකම තියෙද්දි, ඉස්සර සතියකට දෙතුන් වතාවක් ගොවියො එක්ක විරෝධතා කරපු, ගොවියන් අමුඩ ගස්සලා පාරට බස්සපු, ඒ ගොවිජන ව්‍යාපාරයක නායකයෙක් තමයි දැන් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති වෙලා ඉන්නෙ. දැන් උන්නැහේ කියනවා සහතික මිල තාම හදාගෙන යනවලු. මේක කියන්නෙ නැහැ.
හැබැයි ආණ්ඩුව කලින් කිවුවේ කොහොමද ? ඉතාම විද්‍යාත්මක විසඳුම් දෙනවා කිවුවා. එයාලා ගාව තමයි හොඳම බුද්ධිමත්තු ඉන්නවා කිවුවේ. දැන් මොකද වෙලා තියෙන්නෙ. ගොවියට සහතික මිලක් නැහැ.
පහුගිය කාලේ හාල් මෝල් වැටලුවා. මේ ජනාධිපති පහුගිය දවසේ රූපවාහිනි සංවාදයක කියනවා මෝල් හිමියො කරන වැරැද්දක් අපට පේන්නෙ නැතිලු. ඒ කියන්නෙ ප්‍රතිපත්තිය වෙනස්වෙලා. තව හාල් මෝල් හිමියො ගෙන්නලා කරපු සාකච්ඡාවකින් පසුව කිවුවා රු.230ට හාල් දෙන්න පොරොන්දු වුණා කියලා. දැන් රු.230ට ද හාල් තියෙන්නෙ ? සමහර තැන්වල අවශ්‍ය හාල් නෑ. සතොසෙත් හාල් බක්කි හිස්වෙලා.
වෙළඳ ඇමති කිවුවා හාල් මෝල් හිමියො වැරදියි කියලා, ජනාධිපතිතුමා ඊට වෙනස් කතාවක් කිවුවා. කෘෂිකර්ම ඇමති කියනවා කැකුළු හාල් හිඟයි කියලා මම දන්නෙත් නෑ.මට කවුරුත් කිව්වෙත් නෑලු. කෘෂිකර්ම ඇමති දන්නෙ නෑ අපේ රටේ හාල් හිඟයක් තියෙනවා කියලා. කෘෂිකර්ම ඇමතිට කවුරුත් කියලත් නෑ හාල් හිඟයක් තියෙනවා කියලා.මොකද්ද මේ විහිළුව ? අපි ජාතික ගොවි ව්‍යාපාරය විදියට කියනවා මේ විහිළුව නවත්වන්න ඕන.
වී විතරක් නෙමෙයි අනෙක් හැම ක්ෂේත්රයකම ගොවියො තමන්ගේ නිෂ්පාදනවලට නියමිත මිලක් නැති කමින් පීඩා විඳිනවා. අවුරුදු 76ක් පීඩා විඳින ගොවියගෙ ප්‍රශ්නෙ විසඳනවා කියලා තමයි මේ ආණ්ඩුව බලයට පත්වුණේ. මේ ආණ්ඩුවත් දැන් ඒ 76 ඉස්සරහට දිග් කරගෙන යනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම, අදම පුළුවන්නම් ගොවියගෙ නිෂ්පාදන අලෙවිකරගන්න අවශ්‍ය සහතික මිල නියම කරන්න. ඒක පමා කරන දවසක් පාසා එහි වාසිය වී මෝල් හිමියන් අතට යනවා. ඔවුන් හිතූ හිතූ මිලට වී මිලට ගන්නවා.
අපට දැන් සැකයක් තියෙනවා පසුගිය කාලේ මැතිවරණ ව්‍යාපාරවලට ඔය හාල් මෝල් හිමියන් සල්ලි දුන්න කියලා කියවුණා. ඒක දැන් හරි ප්‍රසිද්ධ රහසක්. එක්තරා හාල් මෝල් හිමියෙක් රුපියල් කෝටි පනහක් එක් දේශපාලන පක්ෂයක මැතිවරණ ව්‍යාපාරයකට දීලා තිබුණා. ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ගන්න. කෝටි පනහක් එක් මන්ත්‍රී ධුරයකට දෙන්න තරම් ඒ මෝල් හිමියන්ගෙ ලාභය කොපමණ වෙන්න පුළුවන් ද ? ඒ කෝටි පනහ ඇතුළෙ තියෙන්නෙ අපේ රටේ ගොවි ජනතාවගේ දුක් කඳුළු බව අමතක කරන්න එපා. මේ හොරගල් අහුලන්නෙ, විශේෂයෙන් පාලන මිලක් නැතිව කල් මරන්නෙ අර තමන්ගෙ මැතිවරණ ව්‍යාපාරයට උදව් කරපු ඒ මෝල් හිමියො සන්තර්පනය කරන්න ද කියන සැකය අපට මතුවෙලා තියෙනවා.
ඒ විතරක් නෙමෙයි එක පැත්තකින් මේ ආණ්ඩුව කයිවාරු ගැහුවට ගොවියා ආරක්ෂා කරන්න බැරිවෙලා තියෙනවා වගේම අනෙක් පැත්තෙන් පාරිභෝගිකයට අවශ්‍ය හාල් ටික ගන්න ඉඩ කඩ හදලත් නැහැ. හාල් අලෙවි කිරීමට පාලන මිලක් දැම්ම කිවුවට ඒ ගානට වෙළඳසැල්වල හාල් නෑ. ඒ නිසා ගොවි ජනතාව වගේම පාරිභෝගිකයත් අද අපහසුතාවට පත්වෙලා.
ජනාධිපතිතුමා කිව්වා වී මිලදී ගන්න කෝටි 500ක් වෙන් කරලා තියෙනවා කියලා. ගබඩා තිබුණට මදි ඒ වී මිලදී ගන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනි. ඒ විතරක් නෙමෙයි. මේ මුදල් ප්‍රමාණවත් ද ? කවුද ඒ වී මිලදී ගන්නෙ. කවුද වී කොටන්නෙ කියලා සැලසුමක් තියෙන්න ඕන. අපි දන්නවා රජයට වී මෝල් නැත්නම් අවසානයේ නැවත අර වී ටික මෝල් හිමියො ළඟටම යනවා.
එතකොට කලින් කෘෂිකර්ම අමාත්‍යවරයෙක් වෙලා හිටපු මේ ජනාධිපතිතුමා මේකෙ ඇත්ත තත්ත්වය දන්නෙ නැද්ද ? ගොවි නායකයෙක් වෙලා හිටපු කෙනා තමයි අද නියෝජ්‍ය ඇමතිවරයා වෙලා ඉන්නෙ. තඹුත්තේගමින් ආපු කෙනෙක් තමයි වෙළඳ ඇමතිවෙලා ඉන්නෙ. ඒත් ගොවි පුතෙක්. රටේ ජනාධිපතිතුමාත් ගොවි පුතෙක් කියනවා. මොන පුතාලා ආවත් ගොවි ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් ලැබිලා නැහැ.
ඒ විතරක් නෙමෙයි අර පොල් ප්‍රශ්නයට එක්තරා ඇමතිවරයෙක් උත්තරයක් දීලා තිබුණා. පොල් හිඟයට හේතුව මිනිස්සු කිරි හොඳියි සම්බලුයි කන එකලු. හාල් හිඟයක් ආවම කියයි ලංකාවේ මිනිස්සු බත්කන නිසා තමයි හාල් හිඟ කියලා. වෙන දෙන්න උත්තරයක් නැහැ. මේ විදියට අපේ රටේ ජනතාව රවට්ටන්න එපා.
මේ ආණ්ඩුවෙන් බිම් මට්ටමේ ගොවි ජනතාවට තියෙන ප්‍රශ්නයට උත්තරයක් ලැබිලා නැහැ. ඇල වේලි කැඩුණා. වර්ෂාවට අහුවෙලා අස්වනු නැතිව ගියා. හැබැයි අවුරුද්දට එක වතාවයි වන්දි දෙන්න පුළුවන් කියලා ගොවියන්ට දැන් වන්දිත් නෑ.
මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 8ක් වගා කරනවා. යල කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 5ක් වගා කරනවා. හෙක්ටයාර් ලක්ෂයක්ම විනාශ උනත් ලක්ෂ 12ක අස්වැන්න ලැබෙන්න ඕන. හෙක්ටයාරයකින් කිලෝ 4000ක් ලැබෙනවා කියලා ගණනය කළොත් මේ ලක්ෂ 12ට මෙට්‍රික් ටොන් ලක්ෂ 48ක් ලැබෙන්න ඕන. වී කිලෝ එක හමාරකින් හාල් කිලෝ එකක් හදන්න පුළුවන්. එහෙම බැලුවම ලංකාවේ හාල් හිඟයක් තියෙන්න බැහැ.
කෘෂිකර්ම ඇමතිම කියනවා බියර් නිෂ්පාදනය කරන්න හාල් ටිකක් දෙන්න ඕනලු. බියර් හා සත්ව කෑමට මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් දැම්මත් තව කොච්චර ඉතිරි ද ? මෙතන තියෙන්නෙ ආණ්ඩුව මැදිහත්වෙලා මිනිස්සුන්ට බත කන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන්නෙ නැහැ. ආණ්ඩුවේ දත්ත වැරදි නම් ඒවා නිවැරදි කරගන්න ඕන. ඒ වගේම කෂුද්‍ර මූල්‍ය ණයවල හිරවෙලා ඉන්න ගොවි ජනතාව ඉන් මුදාගන්න ඕන.
ආණ්ඩුව කතාව නවත්වලා දැන්වත් මේවට උත්තර දෙන්න ඕනි. එහෙම නැත්නම් ආණ්ඩුවට ලොකු බලයක් තියෙනවා කියලා කියනවා නේ.මේ තියෙන්නෙ ජනතාව දුන්න බලයක්. ජනවරමට අනුව හැසිරෙන්නෙ නැත්නම් ආණ්ඩුවට මොකද වෙන්නෙ ? ඒ බලය නිෂේධ කරන බලය තියෙන්නෙත් ජනතාවටයි.
ඒ වගේම මේ ආණ්ඩුව දැන් බහුජාතික සමාගම් ඉදිරිපිට දණ ගහලා ඉවරයි. අපේ රටේ මෝල් හිමියන් 5 දෙනෙක් ඉස්සරහ දණ ගහලා ඉවරයි. රටේ ජනතාවගේ ගොවි ජනතාවගෙ ප්‍රශ්න විසඳමින් පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට හාල් මිලදී ගන්න අවස්ථාව හදන්න කියලා අපි ජාතික ගොවි ව්‍යාපාරය විදියට ඉල්ලා සිටිනවා.”
ජාතික කිරි ගොවි අංශයේ ලේකම් රුෂාන් අල්විස් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.