මහවිරු සැමරුම් පෝස්ටුවෙන් මහජන සාමය කැඩූ බවට සාක්ෂි නෑ… කැළුම් ජයසුමනටත් ඇප….!

December 4, 2024 at 11:16 am | by emanisa.lk

උතුරේ මහවිරු සැමරුම් පැවැති බවට අසත්‍ය තොරතුරු මුහුණු පොත ඔස්සේ බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන කැලුම් ජයසුමන මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) නියෝ කළේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොටි සංවිධානයේ තහනම් කරන ලද සංකේත ඇතුළත් ඡායාරූපයක් මෙම සැකකරු පළ කර ඇති බවත්
එමගින් මහජන සාමය හා ජාතීන් අතර සංහිඳියාවට බාධා එල්ල වී ඇති බවත් සඳහන් කළ අතර උතුරේ මෙවැනි උත්සවයක් පවත්වා නොමැති බවත් සඳහන් කළේය.

විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් මෙම සැකකරු තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉල්ලා සිටි අතර එහිදී මහෙස්ත්‍රත්වරයා එම නිලධාරීන් විමසා සිටියේ මෙම ක්‍රියාව නිසා මහජන සාමය කඩ වූ බව තහවුරු කෙරෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කර තිබේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ, එවැනි ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවය.

මහජන කැලඹීමක් සිදුවූ බව තහවුරු කෙරෙන සාක්ෂි නොමැතිව සිතේ තිබෙන දේවල් පදනම් කරගෙන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ නොහැකි බව ප්‍රකාශ කරමින් සැකකරු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *