ඇඟිලි සලකුණු යන්ත්‍ර ගෙනාවොත් දැවැන්ත වර්ජනයක්….! – සෞඛ්‍ය වෘත්තීය සමිති…

November 28, 2024 at 10:28 am | by emanisa.lk

සෞඛ්‍ය පරිපාලකයන් විසින් තෝරාගත් රෝහල් කාර්ය මණ්ඩල සඳහා පමණක් ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කිරීම සිදුකරන්නේ නම් ඉදිරියේදී ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය වෘත්තීය සමිති රජයට අනතුරු අඟවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනවල ඇතැම් පරිපාලකයන් පසුගිය කාලයේ සෞඛ්‍ය සේවාවේ තෝරාගත් වෘත්තිකයන්ට පමණක් පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සඳහා මෙලෙස ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කරන ලෙසට උපදෙස් දී ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය වශයෙන් ඇඟිලි සලකුණු යන්ත්‍ර යෙදවීමට තීරණය කරන්නේ නම් තමන් ද ඊට සහාය දීමට එකඟවන අතර, එසේ එකඟතාව පළ කිරීමට නම් සෞඛ්‍ය සේවාවේ සමස්ත වෘත්තිකයන්ටම එම කොන්දේසිය බලපැවැත්විය යුතු බව ද එම බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ මෙම ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදෙනු ඇති බවට තමන් විශ්වාසය තබා ඇති බවත්, මේ සම්බන්ධයෙන් මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්වත් කර ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *