හිටපු සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ඉවත් කළේද ඔහු ඉල්ලා අස්වුණේද යන්න සෞඛ්‍ය ඇමතිවරයා රටට පැවසිය යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය පරිපාලනය කළ ලේකම්වරුන් අතරින් පරිපාලන ගුණාත්මකභාවය ආරක්ෂා කළ, නවීන තීරණ ගැනීමේ රටාව පිළිබඳව අවබෝධයක් ඇති වෛද්‍ය පාලිත මහීපාල වැනි අයෙකු ඉවත් කිරීමට නව සෞඛ්‍ය ඇමතිවරයා කඩිනම් වූයේ ඇයි දැයි ඔහු ප්‍රශ්න කරයි.
“හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ඉවත් කිරීම වර්තමාන රජය හෝ සෞඛ්‍ය ඇමතිවරයා විසින් සිදු කරන ලද්දක් නම් ඊට වඩා දක්ෂ පරිපාලකයකු පත් කිරීමේ වගකීම ඔවුන් සතුයි.
එසේ නොමැතිව හුදු දේශපාලනීකරණය සඳහා හිටපු ලේකම්වරයා ඉවත්කොට තමන්ගේ කඳවුරේ කෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශ පුටුවේ ඉන්දවීමට රජය උත්සාහ කරන්නේනම් එය වනාහි පරණ භාවිතවම බව පෙන්වාදීමට සිදුවෙනවා.
විශේෂයෙන්ම හොරකම දූෂණය වංචාව සහ නාස්තිය මත පදනම්ව සෞඛ්‍ය සේවාව බරපතළ කඩාවැටීමකට ලක්ව තිබෙන මොහොතකදී පත්වූ හිටපු සෞඛ්‍ය ලේකම්වරයා, තමන් සතු වූ ජාත්‍යන්තර අත්දැකීම් ද භාවිත කරමින් ඉතා සීරු මාරුවට සෞඛ්‍ය සේවාව වෙනස් කරමින් තිබූ බව දේශපාලන භේදයකින් තොරව අප පිළිගත යුතුයි..”